Aug 16, 2013

මොකක්ද මේ Candidiasis ?

Candidiasis යනු දිලීරයක් නිසා සෑදෙන ආසාදන තත්ත්වයකි. මෙම තත්ත්වයට මූලික වන දිලීරය නම් යීස්ට් කුලයට අයත් Candida නම් දිලීරයයි. මෙය ඉතා බරපතල ආසාදන තත්ත්වයක් නොවූවත් බොහෝ සිත් තැවුලට පත් වන මහත් අසහනකාරී ආසාදන තත්තවයකි. සාමාන්‍යයෙන් අපගේ සම මත මෙම දිලිරය ඉතා අවම මට්ටමක පවතී. යම් යම් හේතු සාධක නිසා මෙම දිලිරය මිලියන ගණනින් ගුණනය වී ආසාදන තත්ත්වයන් ඇති කළ හැකි අතර , සුළු ප්‍රතිකර්ම මගින් මෙම තත්ත්වය සුව කරගත හැක.

ඉහත කී ආසාදනයන් ශරීරයේ විවිධ ස්ථාන ආසාදනය කළ හැක. ඒ අතුරින්,
  • සම
  • ලිංගේන්ද්‍රිය
  • උගුර
  • මුඛය
ප්‍රමුඛව දැක්විය හැකිය. නමුත් මා මෙහිදී කතා කිරීමට සැරසෙනුයේ ලිංගේන්ද්‍රිය ආශ්‍රිත ආසාදන තත්ත්වය පිළිබඳවයි. ලජ්ජාව නිසා මෙම ආසාදන තත්ත්වය සඟවාගෙන සිටින බොහෝ කාන්තාවන් හා පුරුෂයන් හට මෙම පණිවුඩය ගෙන යාමට අදහස් කරමි. මාගේ කඩතුරා ගැටළු තුළද මේ සඳහා යම් පිළිතුරක් ලබා දීමට සමත්ව ඇත.

ඔබගේ ලිංගික අවයවය ආශ්‍රිතව කැසීමක් ඇත්නම්, මුත්‍ර පහකිරීමේදී වේදනාවක් ඇති වේ නම්, මෛථුන්‍යයේදී පෙර නොවූ වේදනාවක් ඇති වේ නම් ඔබට මෙම ආසාදනය ඇති වී තිබීමට පුළුවන. නමුත් වෙනත් ලිංගිකව සම්ප්‍රේශනය වන රෝග වලින්ද මෙවැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරන නිසා වෛද්‍ය උපදෙස් ලබා ගැනීම නුවණට හුරු වේ. 

මෙහිදි බොහෝ විට ක්‍රීඩාවෙහි නිරත වන අයට සහ ඇදුම සඳහා ඖෂධ භාවිතා කරන අයට මෙම රෝගය ඉක්මනින් වර්ධනය විය හැකිය. ක්‍රීඩකයන්ගේ/ක්‍රීඩිකාවන්ගේ  යට ඇඳුම් බොහෝ විට දහඩිය සමග තෙතමනය රැඳෙන බැවින් දිලීරයන්ට වර්ධනය වීමට මහත් හිතකර පරිසරයක් නිර්මාණය කරන අතර ඖෂධ භාවිතා අයගේ ශරීරයෙන් සමේ සිටිනා “හිතකර“ ක්ෂුද්‍ර ජීවීන් ද විනාශ කරන බැවින් ඉහත කී දිලීර ඇතුළු අහිතකර ක්ෂුද්‍ර ජීවීන්  වැඩීමට සුදුසු පරිසරයක් නිර්මාණය වේ. තවද පිළිකා සඳහා පිළිකා නාශක එන්නත් ශරීරගත කළ අයද , ඒඩ්ස් රෝගය වැළඳුන අයට මෙම ආසාදනය ඉතා දරුණු ලෙස බලපෑමට හැකිය.

ශිෂ්නය ආශ්‍රිත ආසාදනය (Penile Candidiasis)

මෙහිදී ශිෂ්නය ආශ්‍රිත කැසීමක් ඇතිවිය හැකි අතර ශිෂ්නය කෙළවර , පෙරසම , අණ්ඩ කෝෂයෙහි සම ආදියෙහි සුදු දැලක් හෝ රතු පැහැ වීමක් දක්නට ලැබේ. මෛථුන්‍යයේදී අධීක වේදනාවක් ඇති විය හැකිය.
තවද මෞත්‍ර විවරයෙන් සුදු පැහැති ශ්‍රාවයක් පැමිණීමටද ඉඩ ඇත.
වෛද්‍යවරුන් පෙන්වා දෙන පරිදි පෙරසම ඉවත් කරන ලද පුරුෂයන්ට මෙය වැළඳීමේ අවධානම අඩුය.

යෝනිය ආශ්‍රිත ආසාදනය (Vaginal Candidiasis)

මෙය කාන්තාවන් අතර බහුල ආසාදන තත්ත්වයකි. සෑම කාන්තාවන් 3-4 අතර තම ජීවිත කාලයේදි මෙම ආසාදනයට පත් වීමට පුළුවන. මෙහිදීද යෝනි විවරය සහ ඒ ආශ්‍රිතව ඇකිවන තදබල කැසීමක් , මුත්‍ර පහකිරිමේදී අධික වේදනාවක් , මෛථුන්‍ය යේදී අධික වේදනාවක් , සුදු පැහැයට හුරු යෝනි ශ්‍රාව ගැලීමක් ඇතිවිය හැකිය.
මෙහිදී බොහෝ විට කාමාශාවන් පවා යටපත් විය හැකිය. විශේෂයෙන්ම ගැබිණි මව් වරුන්ගේ හෝර්මෝන වෙනස් වීමත් සමගම මෙම ආසාදන තත්ත්ව ඇතිවිය හැකි බව වෛද්‍ය මතයයි.

ප්‍රතිකර්ම

  1. ප්‍රාථමික මට්ටමේදී දිලීර සඳහා වූ ආලේපන වර්ග භාවිතයෙන් ආසාදන තත්ත්වය මග හරවා ගත හැකිය.
  2. තද ඇඳුම් සහ ජල අවශෝෂක නොවන අමුද්‍රව්‍ය යොදා තැනූ යට ඇඳුම් ඇදීමෙන් වලකින්න.
  3. හැකි තරම් ආසාදිත ප්‍රදේශ වියලිව තබා ගන්න.
  4. නිතර නිතර මෙවැනි ආසාදන තත්ත්ව ඇති වේ නම් වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
ඔබට සුභ දවසක්! යහ දිවියක් ලැබේවා!

No comments:

Post a Comment