Dec 31, 2013

2014 සුභ නව වසරක් වේවා!




Black Friday Deal - $1.99 .Com at GoDaddy.com!
හෙටින් එළැ ඹෙන්නා වූ 2014 වසර සියලු සතුට බලාපොරොත්තු සපිරි යහපත් වසරක් වේවා යැයි කඩතුරා කණ්ඩායම ඔබට ප්‍රාර්ථනා කර සිටියි.

කඩතුරාවෙහි සාමාජිකයන් තව දුරටත් දේශයේ ලිංගික හා ප්‍රජනක සෞඛ්‍යය නංවාලීම සඳහා තව දුරටත් ගුණාත්මක බවින් යුතු සමාජ මෙහෙවරක් කිරීමට මෙයින් පොරොන්දු වෙමු.

Dec 26, 2013

sex කියන වචනය සෙවුමෙන් ලංකාව ඉතාමත් ඉදිරියෙන් !

Black Friday Deal - $1.99 .Com at GoDaddy.com!
ණගාටුවට කරුණ නම් ලංකාවේ කීර්ති නාමය කොතන රැඳී ඇත්ද යන තැන මතයි. ලෝකයේ සියලුම රටවල් අභිබවමින් ගූගල් සෙවුම් යන්ත්‍රය හරහා SEX යන වදන සෙවීමේ ප්‍රමුඛයා වී ඇත්තේ , ආසියාවේ මුතු ඇටය වන් ශ්‍රී ලංකාවයි. කඩතුරාවේ අපි ලංකාවේ සියලුම පුරවැසියන් හට ලිංගික අධ්‍යාපනයේ සියලුම දැනුම බෙදා දෙත්දීත් මෙවන් වූ මානසික අසහනයකින් පෙළීම නිසා හෝ වෙනත් කාරණා නිසා මෙලෙස SEX යන පදයෙන් අන්තර්ජාලය හරහා දත්තයන් සෙවීම මහත් සේ සිත් රිදවීමට තුඩු දේ.

ඇත්තෙන්ම මෙවන් පද සෙවුමෙන් බොහෝ දෙනෙකු බලාපොරොත්තු වනවා ඇත්තේ බොහෝ විට කාම දර්ශන විය යුතුය. කාම ඡායාරූප , කාම වීඩියෝ දර්ශන , සෘංගාරාත්මක කතා වලට වඩා අෂික්ෂිත විකෘත කාමයන් සහිත කතන්දර අන්තර්ජාලයේ බොහෝ පවතියි. පහත දක්වා ඇත්තේ එවන් පද සෙවුමෙන් ලැබෙන ප්‍රතිඵලයයි.

එබැවින් ලංකාවේ ලිංගික අධ්‍යාපනය පිළිබඳව තේරුම් ගැනීමට මෙය බොහෝ කරුණු පැහැදිලි කරයි. සත්‍ය
යෙන්ම ලංකාවේ පාසල් සිසු/සිසුවියන්ට මෙන්ම වැඩිහිටියන්ටද ලිංගික අධ්‍යාපනය පිළිබඳව සාමාන්‍ය පමණින් හෝ දැනුවත් කමක් නැත. දැන් දෙමාපියන් තමාගේ දූ දරුවනට ප්‍රාථමික වශයෙන්වත් ලිංගික අධ්‍යාපනය ලබා නොදීම කණගාටුවට කරුණකි. එහෙත් රටේ සුළුතරයක් මෙම ලිංගික අධ්‍යාපනය පිළිබඳව හොඳ දැනුමකින් සන්නද්ධව සිටිති. ලාංකේය සංස්කෘතියට මුවා වී මෙවන් වැදගත්ම මාතෘකා ප්‍රසිද්ධියේ කතාබහ නොකිරීම ලංකාවේ ලිංගික පීඩනය ඉහළ යාමට විශේෂ හේතුවක් වී ඇත.

එසේම ලංකාවේ බොහෝ පිරිසක් ආගම දහමින් ඈත් වීම නිසා මානසික සුවය අඩුවීම සහ ස්වයං පාලනය අඩුවීමද මෙයට ප්‍රධාන වශයෙන්ම බලපා ඇත. මිනිසා පරිසරයෙන් සහ ආගම දහමින් ඈත් වීම මිනිසාගේම විනාශය කරා යෑමක් බව මොනවට කිව යුතුද? බොහෝ දෙනාගේ හිතසුව පිණිස කඩතුරාවෙහි මෙම මෙහෙවර තවත් ශක්තිමත්ව ඉදිරයට කරගෙන යෑමට අපි අපේක්ෂා කරමු.

ඔබටත් කඩතුරාවේ සාමාජිකයෙක් වී වැදගත් හරවත් ලිපි යොමු කිරීමට අදහස් කරන්නේ නම් admin@kadathura.info වෙත ඊමේල් පණිවිඩයක් යොමු කරන්න.

Dec 5, 2013

ලිංගික අතවර හෝ අපයෝජන හෝ ලිංගික බලපෑම් වලින් වැලකීම

ආයුබෝවන්! අද දවස ඔබට කෙසේද?

අද මා සාකච්ඡා කිරීමට යන මාතෘකාව අපගේ කඩතුරා බ්ලොගයේ වැදගත්ම මාතෘකා වලින් එකක් වන බව මම සිතමි. මෙය බොහෝ විට සමාජයේ සාකච්ඡාවට බඳුන් නොවූ එහෙත් කාන්තාවන්ට වැදගත් ම වන අතිශය සංවේදී මාතෘකාවකි. පෙරදී ලංකාවේ මැණිකක් අතින් ගත් කාන්තාවක් මධ්‍යම රාත්‍රියේ වුවද කිසිදු උපද්‍රවයකින් තොරව ඇවිද ගිය බවට පුරාණ කතාවක් තිබේ. එයින් පැවසනුයේ කාන්තාව ආරක්ෂිත බව නොව එකල  සමාජය බෙහෙවින්ම සංවර වූ බවය. ඇත්තෙන් ම බටහිර සමාජය විසින් රූපමය මාධ්‍යය හරහා පෙරදිග මිනිසාගේ චින්තනය වෙනස් කරන ආකාරය ඇත්තෙන්ම විශ්මය ජනකය. මහත්මා ගාන්ධි ශ්‍රීමතාණන් පැවසූ පරිදි බටහිර සුළඟට පැමිණෙන්න ජනෙල් හැර තබන්න ඒත් ගෙදර දෑ ගසාගෙන යාමට ඉඩ නොදෙන්න යන්න හොඳින් සිහියේ තබා ගැනීම වඩාත් වැදගත් වේ.

ඇත්තෙන්ම අද කාන්තාව ලිංගිකත්වයේ සංකේතයක් බවට , සියලුම ප්‍රචාරණ මාධ්‍යයන් විසින් , පත් කොට ඇත. ඕනෑම භාණ්ඩයක් විකුණා ගැනීමට කොටට ඇඳගත් කාන්තාවන් ප්‍රදර්ශනය කිරීම දැන් බහුලව සිදුවන වේ. මෙනිසා ගැහැණිය නොදැනීම ප්‍රසිද්ධ වෙළෙඳ භාණ්ඩයක් බවට පත්ව ඇත. කෙසේ වෙතත් අද පවතින ආර්ථික තත්ත්වය මත ගැහැණිය සහ පිරිමියා යන දෙපිරිස මත ම මුදල් සෙවීම සඳහා දැඩි පීඩනයක් එල්ල වී ඇති නිසා සියල්ලෝම දැඩි මානසික අසහනයකින් පෙළෙති. එහෙත් ස්වභාවයෙන්ම පිරිමියා තම මානසික පීඩනය නැති කර ගැනීමට යම් යම් ක්‍රියාවන් වලට පෙළඹේ. එයින් ප්‍රධාන වශයෙන්ම ගතහොත් මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම , ලිංගික ක්‍රියාවන්ට ඇබ්බැහි වීම , මුදල් සෙවීමේ පහසු මාර්ග වන නීතියට පටහැනි දෑ කිරීම ( සොරකම් , කුලියට මිනීමැරීම් ආදී ) වශයෙන් නම් කළ හැකිය. එහෙත් අද මාතෘකාවට බඳුන් වන්නේ මෙයින් පුරුෂයා විසින් ගැහැණිය වෙත කෙරෙන සාමාජීය මෙන්ම සංස්කෘතික වශයෙන් පිළිකුළට පාත්‍ර කෙරෙන ලිංගික අතවර හෝ අපයෝජන හෝ ලිංගික බලපෑම් පිළිබඳවයි.

මඳක් සිතා බලන්න. ලිංගික අතවර හෝ අපයෝජන හෝ ලිංගික බලපෑම් සඳහා දෙපාර්ශවයේම යම් කිසි බලපෑමක් තිබිය යුතුය. එහෙත් එය එසේ නොවන අවස්ථා ද නැත්තේ නොවේ. කාන්තාවක් වශයෙන් ඔබ සමාජයේ ජීවත් වීමේදී සැලකිලිමත් විය යුතු කාරණා කිහිපයක් තිබේ.

  • ඔබ හැඳ පළඳින දෑ ඔබ හැඳ පළඳින්නේ ඔබගේ විලි වසාගැනීමට පමණක්ද ?

    • ඇත්තෙන්ම කාන්තාවන් මේ පිළිබඳව සිතා බලන්නේ නැති වුවද ඇත්තෙන්ම ඔවුන්ගේ යටි සිත සහ කාන්තාවක් වීම නිසාම තමාට පිරිමින් ආකර්ෂනය විය යුතු යැයි යන සහජ චිත්තයන් නිසාම පිරිමින් ආකර්ෂනය වන ආකාරයට නිතඹ ( බුරිය ) පෙනෙන ලෙස, පයෝධර ඉලිප්පී පෙනෙන ලෙස , තට්ටම් නෙරා එන ලෙස , ඇඟ පසඟ සහ නාරි ලාලිත්‍යය වැඩිපුර පෙනෙන ලෙස තදට සහ කොටට ඇඳුම් ඇඳීම සහ විවිධ අබරණ පැළැදීම මෙහිලා සැලකිය හැකිය.

  • ඔබගේ හැසිරීම සහ කතාබහ ප්‍රසන්නද ?

    • කාන්තාවක් ලෙස සමාජයේ හැසිරීමේදී , වෙසෙසින්ම පිරිමින් සමග ගනුදෙනුවේ දී තමාගේ කතාබහ සීමාවක් ඇතුව දුරස්ථභාවයකින් යුක්තව සිදුකළ යුතුය.කාන්තාවනි ,  මා මෙලෙස පවසන දෑ පටු කොට නොතකා පුළුල්ව සිතා බලන්න. මා ඔබගේ නිදහසට පහර ගසනවා නොවේ. එහෙත් ඔබේ මතු ආරක්ෂාවට මෙය වැදගත් විය හැකිය. පිරිමින් සමග ගනුදෙනුවේදී හැකිතාක් දුරට ශාරීරික දුරස්ථභාවය ආරක්ෂා කරගත යුතු අතර , කතාබහේදී මානසිකව ඇලීම් ඇති නොකරගන්නා ආකාරයට සහ තමා වෙත ආකර්ෂනය නොකෙරන ආකාරයට කතා බහ කිරීමත්, පෞද්ගලික දෑ කතාබහ නොකිරීමටත් වගබලා ගත යුතුය. කිසිවෙකුට කිසිවිටක තමාගේ පෞද්ගලික විස්තර නොදීම ඉතාමත් වැදගත් වේ. තමාගේ පෞද්ගලික වාසියට කිසිවිටක පිරිමියකු ලිංගිකව උද්දීපනය වන පරිදි හෝ එවන් ක්‍රියාවකට මග සැලසෙන ආකාරයට ක්‍රියා නොකරන්න.

  • පොදු ප්‍රවාහන සේවය නිතර භාවිතා කරන්න

    • තමාගේ ආරක්ෂාවට නිතරම පොදු ප්‍රවාහන සේවය භාවිතා කරන්න. තමාට අතවරයක් හෝ කරදරයක් වන විට උදව් ඉල්ලන විට බොහෝ පිරිමින් ඔබගේ ආරක්ෂාවට පැමිණෙනු ඇත.
    • පොදු ප්‍රවාහනයේදීද බොහෝ මානසික අසහන කාරයන් සිටින බැවින් ඔවුන් ඔබට යමක් කිරීමට පැමිණෙන විට ඔබ එයට විරුද්ධ බව අඟවන්න. එයින් ඔහු නොනැවතුනහොත් ශබ්ද නගා ඔබගේ විරුද්ධත්වය ප්‍රකාශ කරන්න. එසේත් නොනැවතුන හොත් අන් අයගෙන් උදව් බලාපොරොත්තු වන ආකාරයට “මෙයා මට කරදර කරන්න හදනවා! උදව් කරන්න !“ ආදී වශයෙන් ශබ්දයෙන් පවසන්න.
    • සුළු වශයෙන් හෝ පිරිමි සුළුතරයක් පමණක් ගමන් ගන්නා පොදු ප්‍රවාහන පද්ධතියකට ගොඩ නොවන්න. කාන්තාවන් කිහිප දෙනෙක් සිටියි නම් ඔවුන් අසලින් හිඳගන්න. තමාගේ වටපිට පිළිබඳව අවධානයෙන් සිටින්න.
    • හොඳින් දන්නා හඳුනන අයගේ පමණක් පෞද්ගලික වාහන වලට ගොඩවන්න. නාඳුනන අයෙකුගේ ආරාධනයකට වාහන වලට ගොඩනොවන්න.

  • රෑ බෝ වීමෙන් පසු තනිවම ගමන් යෑම අඩු කරන්න

    • බොහෝ ලිංගික අතවර හෝ අපයෝජන සිදුවී ඇත්තේ තනිවම ගමන් යන හා රෑ බෝවී ගමන් ගන්නා කාන්තාවන්ට වේ. එබැවින් මෙවැනි ගමන් හැකි තාක් අඩු කරන්න.
    • මෙවැනි ගමන් වැලකිය නොහැකි අවස්ථා වලදී හොදින් එළිය ඇති අවකාශ ඇති මිනිසුන් ගැවසෙන ස්ථාන තම මාර්ගය සඳහා යොදා ගන්න. 
    • අඳුරු , මිනිසුන් නොගැවසෙන මාර්ග වල ගමන් කිරීම වැළැක්විය නොහැකි නම් තමාගේ ළඟම ඥාතියකු මගට ගෙන්වාගෙන් ඔහු / ඇය සමග ආරක්ෂාකාරීව ගමන් ගන්න.

  • විදුලි සෝපාන සහ පාලු තරප්පු පේළි වල ගමන් ගන්නා විට ආරක්ෂාකාරී වන්න.

    • විදුලි සෝපානයන්හි ගමන් කරනා විට , ආරක්ෂාකාරී බවක් නොහැඟේ නම් , හැකි තරම් යතුරු පුවරුවට ආසන්නව සෝපානයේ බිත්තියට පිට තබා , හොඳින් මුළු සෝපානයම පෙනෙන ලෙස සිටින්න. අනතුරක් ඉව වැටුනු වහාම යතුරු පුවරුවේ තට්ටු සඳහා වූ සියලුම යතුරු ඔබා හදිසි අනතුරු සංඥා බොත්තමද ඔබන්න ( තිබේ නම්) . මෙවිට ඔබට යම් අනතුරක් වේ නම් ඇති ළඟම තට්ටුවෙන් ඉවත් වීමට පුළුවන.

  • කාර්යාලයේ රෑ බෝ වී තනියම වැඩ කිරීමෙන් වළකින්න.

  • අයුතු යෝජනා හෝ ඇරයුම් ලැබුනහොත් බුද්ධිමත්ව ප්‍රතික්ෂේප කරන්න

    • බොහෝ විට පිරිමිහු කාන්තාවන් හට අයුතු යෝජනා හෝ ඇරයුම් කරති. කාන්තාවන් එයට දක්වන ප්‍රතිචාරයන් මත එහි ඉදිරිය තීරණය වේ. එවන් ඇරයුමක් යෝජනාවක් කළ විට සුහදව එය ප්‍රතික්ෂේප කරන්න. මන්ද ඔබ ඔහුව අපහසුතාවයට හෝ ලජ්ජාවට පත් කළහොත් , ඔහු ඔබගෙන් පළිගැනීමක් වැනි දෙයක් කිරීමට පුළුවන. තම හිතවතුන් , ඥාතීන් මේ පිළිබඳව දැනුවත් කොට තබන්න.
ඔබ මෙවන් දෑ අනුගමනය කළ ද , ඔබට  ලිංගික අතවරයට හෝ අපයෝජනයට ලක්වීමේ අවස්ථාවන් පවතී. එවන් අවස්ථාවන්ට මුහුණ දීම සඳහා පහත දැක්වෙන පියවරයන් අනුගමනය කරන්න.
  • ඔබගේ ජංගම දුරකතනයෙහි Speed Dial/ One Touch Dial ආදිය සඳහා  ගබඩා කර තබන්න.
  • ඔබගේ ජංගම දුරකතනයේ Distress Alert වැනි පහසුකම් ඇත්නම් ළඟම ඥාතියකු , හිතවතකුගේ දුරකතන අංකයන් සඳහා කෙටි පණිවුඩ යැවීමට සූදානම් කොට තබන්න. මෙවැනි කෙටි පණිවුඩයක් ලැබුණහොත් ක්‍රියා කරන ආකාරය පිළිබඳව ඔවුන්ව දැනුවත් කොට තබන්න.
  • කුඩය , අත් බෑගය ආත්මාරක්ෂාව සඳහා යොදා ගැනීමට සූදානම්ව තබාගන්න.
  • හැකි නම් ආත්මාරක්ෂක ක්‍රම පුහුණු වන්න.
මෙවන් අවස්ථාවන්ට මුහුණ පෑමට සිදුවීමට අවධානමක් පවතියි නම් ;
  • උදව් ඉල්ලා හඬ නගා කෑ ගසන්න.
  • පිරිස ගැවසෙන තැනකට හැකි ඉක්මනින් පිවිසෙන්න.
  • දැඩි තර්ජනයකට මුහුණ පා ඇත්නම් වහා ක්‍රියාත්මක වී පහර දී පිරිස ගැවසෙන පෙදෙසකට වේගයෙන් දිව යන්න.

මේ කාන්තා ඔබගේ වටිනා ජීවිතයයි! එය රැකගැනීමේ පරම යුතුකම ඔබ සතුය.

Nov 20, 2013

පිරිමින්ගේ සුරාන්තය සහ ඖෂධ! - Male Climax and Pharmaceutical Drugs !

පිරිමින්ගේ සුරාන්තය සහ ඖෂධ! - Male Climax and Pharmaceutical Drugs ! 


ආයුබොවන්! අද දවස ඔබට කෙසේද?

මා හට ලැබෙන අතිමහත් ගැටළු වලින් එකක් වන පිරිමින්ගේ සුරාන්තය සහ එයට අදාළ ගැටළු කිහිපයකට පිළිතුරු වශයෙන් මෙම ලිපිය ලිවීමට අදිටන් කළෙමි. මෙවැනි ලිපි ලිවීමට මා හට ධෛර්යය ලබා දෙන පාඨක ඔබ සැමට මාගේ කෘතඥතාවය මෙයින් පළ කර සිටිමි.මෙම ලිපියට පෙර මා විසින් පළමුවෙන්ම ලියූ ලංකාවේ කොල්ලන්ගේ හා කෙල්ලන්ගේ දැනුම  යන ලිපියෙන්ද මේ පිළිබඳව විස්තර කර ඇත්තෙමි. එහෙත් තවත් විස්තර සහිතව මෙම ලිපිය ලිවීමට මම අදහස් කළෙමි.

ඇත්තෙන්ම පිරිමි යන කොට්ඨාශය සෑදී ඇත්තේ තම වර්ගයා හැකි පමණ බෝ කිරීමටය. මේ සඳහා ස්වභාවධර්‍මය විසින් ලබා දී ඇති දායාදයක්  ලෙස ඉක්මනින් ශුක්‍රාණු පිට කිරීමේ යාන්ත්‍රණය හඳුන්වා දිය හැකිය. මෙය විනාඩි 3 සිට විනාඩි 10 දක්වා දිගු විය හැකිය. එහෙත් වත්මන් සමාජය තුළ පිරිමියා දිගු කාලයක් ලිංගික ක්‍රියාවෙහි යෙදීම ඉස්මතු කර ඇති බැවින් ( විශේෂයෙන් කාමුක නිල් චිත්‍රපට වල) පිරිමියාට දැඩි පීඩනයක් එල්ල වී ඇත. බොහෝ පිරිමින් තම ලිංගිකත්වය පිළිබඳ මානසිකත්වය සාදා ගන්නේ නිවැරදි පොත පත ආශ්‍රයෙන් හෝ නිවැරදි දැනුම ඇති අය ආශ්‍රයෙන් නොවන බව මා පුන පුනා පවසන කාරණයකි. ඇතැම් පිරිමින් සිතා සිටිනුයේ ලිංගික කර්තව්‍යය විනාඩි 45 ක් පමණ අල්ලාගෙන සිටිය හැකි දෙයක් ලෙසය. ස්වභාවිකව එකදිගට එය එසේ කළ හැකි පිරිමියෙක් වෙතොත් මම ඔහුට ඊර්ශ්‍යා කරමි. ඔහුගේ සහකාරියට ඔහු , ඇය ලැබූ මෙලොව උතුම් ම ත්‍යාගය වනු ඇත. මා දැන් ඔබ සමග සාකච්ඡා කිරීමට යන කරුණු මුළු පිරිමි සමාජයට මෙන්ම ලිංගික ඇසුරක් පවත්වන සියලුම කාන්තාවන්ට වැදගත් වන අතර , පිරිමි තමාගේ හැකියාව පිළිබඳව ඇති හීන/අධි මානය සහ කාන්තාවන් පිරිමින්ගෙන් බලාපොරොත්තු වන දේ පිළිබඳ නව අරුතක් මෙන්ම නව මානයක් ද පැනනංවනු ඇත.

විද්‍යාඥයන් හා ලිංගිකත්වය පිළිබඳ විශේෂඥයන්ගේ පර්යේෂණ අනුව යම් පිරිමියෙකු ලිංගිකව එකතු වී සුරාන්තයට පත්වීමේ අරමුණින් එක දිගට තම ලිගුව ඇතුළු කරන්නේ නම් ඔහු විනාඩි තුනත් දහයත් අතර තුර කාලයේදී සුරාන්තයට පත්වේ. එහෙත් මෙය පිරිමියාගේ ලිංගික දරාගැනීම , මානසික තත්ත්වය ආදී දේ මතද සහකාරියගේ යෝනිය කෙතරම් තෙතමනය ඇත්ද , යෝනිය කෙතරම් තද ද යන්න මතද රඳා පවතියි. මෙම ලිංගික ක්‍රියාවේ ආරම්භයේ සිට සුරාන්තයට පත්වීමට ගත වන කාලය වැඩි කරගැනීමට ස්වභාවික ක්‍රම කිහිපයක් ඇත.

  • සිත වෙනතකට යොමු කිරීම
ඇත්තෙන්ම මෙය මඳක් අපහසු වනුයේ අප මෙයට නුහුරු බැවිනි. මක්නිසාද ලිංගික කර්තව්‍යයේ යෙදෙන පිරිමියෙකුගේ මනසේ ස්වභාවයෙන්ම ඇත්තේ හැකි පමණ ඉක්මනින් සුරාන්තයට පත්වීමයි. එබැවින් මෙම මානසිකත්වය වෙනස් කිරීමට සිත වෙනතකට යොමු කිරීම මගින් සුරාන්තයට පත්වීමට ලැබෙන ස්නායුමය පීඩනය මඳක් වෙනස් කළ හැකිය.
  • නවතා නැවත ආරම්භ කිරීම
සුරාන්තයට ළඟා වීමට ආසන්න වන විට ලිගුව ඇතුළු කිරීම නවතා මඳ විවේකයක් ගැනීමෙන් සුරාන්තයට පත්වීමේ විභවය පහත හෙළිය හැකිය. 
  • සෙමෙන් සෙමෙන් ලිඟුව තල්ලු කිරීම
බොහෝ පිරිමි ලත් තැනම ශිඝ්‍රගාමී ගමනේ යෙදෙති. මෙය දිගු වේලාවක් රතිකෙළියෙහි රැඳීසිටීමට විශාල බාධාවකි. තම සහකාරිය සමග සුහද ආලිංගනයේ යෙදෙමින් සෙමෙන් සෙමෙන් මෛථුන්‍යයේ යෙදෙන්න.
  • ඉරියව් මාරු කිරීම සහ තම සහකාරිය සහ තමා ලිංගික ක්‍රියාවෙහි මාරුවෙන් මාරුවට මුල්තැන ගැනීම
පිරිමියාට සහ ගැහැණියට ආශ්වාදය විවිධ අයුරින් ලැබෙන ලිංගික ඉරියව් බොහෝ ප්‍රමාණ ඇත. එලෙසම පිරිමියාට මෙන්ම ගැහැණියටද ලිංගික ක්‍රියාවෙහි මුල්තැන ලබාගත හැකි ඉරියව්ද ඉහත ඉරියව් කුලකයේ පවතියි. මෙලෙස ඉරියව් මාරුකිරීම සහ රිද්මයේ වෙනස් කම් කිරීම් මතින් ද සුරාන්තයට ළඟා වීමේ විභවය අඩුකරගෙන දිගු වේලා මෛථුන්‍යයේ යෙදිය හැකිය.

  • කීගල් ව්‍යායාම කිරීම 
කාන්තා සුරාන්තය පළමු කොටස හිදී මා සඳහන් කළ PC මාංශපේශි ව්‍යායාමයන් පිරිමින්ටද අතිශය වැදගත් වනුයේ ඔවුනට සුරාන්තය පාලනය කිරීමක් PC මාංශපේශි පාලනය කිරීමට ඉගෙන ගැනීම කළ හැකි බැවිනි.

 ඉහත කරුණු ස්වභාවික දේ වුවද බොහෝ පිරිමින් තම වින්දනය මෙන්ම තම හීන මානය නැති කරගැනීමට බොහෝ ඖෂධ වෛද්‍ය අනුමැතියකින් තොරව භාවිත කරයි. මෙවැනි බොහෝ ඖෂධ ලිංගික බෙලහීනතාවයට ලබාදෙන ඖෂධ වේ. ඇතැම් මෙවැනි ඖෂධ වල අතුරුප්‍රතිඵල ලෙස ලිඟුව ප්‍රාණවත් වීම සැලකිය හැකිය. පැරසිටමෝල් වැනි එදිනෙදා බොහෝ දෙනා භාවිතකරන  වේදනා නාශක වලද අතුරු ආබාධ පිළිබඳ කිසිදු දැනුමක් අපහට නැති නම් ; මෙවැනි ඖෂධ භාවිතයෙන් සිදුවන අතුරු ආබාධ පිළිබඳ අපට වැටහීමක්  කොහෙත්ම නැතිබව අප වටහා ගත යුතුය. කෙසේ වෙතත් මෙවැනි  ඖෂධ භාවිතයෙන් ලිංගය ප්‍රාණවත්ව තබාගත හැකි අතර දිගු වේලාවක් සුරාන්තයට පත්වීමට ගතවේ. එහෙත් මෙය සහකාරියට කෙතරම් දුරකට සුඛදායී වේ දැයි මම නොදනිමි. එය ඔබ තීරණය කළ යුතු දෙයකි.

අවසානයේ බුද්ධිමත් ඔබට මා ඔබට ඉතිරි කර යන ගැටළුව නම් : 

ස්වභාවිකව මැරතන් තරගයක් දුවනවාද නැත්නම් තහනම් උත්තේජක අරගෙන තරගයෙන් ඉවත් වනවාද යන්නයි!

ඔබට සුභ දවසක් ! යහ දිවියක් ලැබේවා!෴

Oct 30, 2013

සුරාන්ත(ය) - කාන්තාවන්ට අතිවිශේෂයි! - දෙවන කොටස


ආයුබෝවන්! අද දවස ඔබට කෙසේද?


මෙම ලිපිය මාගේ කාන්තාවන්ගේ සුරාන්තය පළමු කොටස  සහ සුරාන්තයේදී කාන්තා දියවිදුම යන ලිපි හා බැඳේ. පෙර ලිපි වලදී , ශ්‍රෝණිය පෙදෙසේ හෙවත් ශරීරයේ ඉදිරිපස පෙදෙසට මුහුණලා , යෝනි මාර්ගය තුළ අඟල් දෙකක් පමණ ඇතුළතින් ඇති පීඩනයට සංවේදී ස්ථානයක් ඇති බවත් , ප්‍යුබෝකොක්සිගස් යනුවෙන් මාංශපේශි ඇති බවත් ඒවා ශක්තිමත් කර ගැනීමෙන් විශිෂ්ට සුරාන්ත(ය) ලඟා කර ගත හැකි බවත් පැවසිනි. මෙම ලිපි වලට මහත් ප්‍රතිචාර තිබූ බැවින් මෙහි දෙවන කොටසක් ලෙස එහිම අටුවාවක් ගෙන හැර දක්වමි.

කාන්තාවන්ට සුරාන්තයට ළඟා වීමට ප්‍රධානතම බාධාවක් වනුයේ ඔවුනගේ ලජ්ජාවයි. එය සත්‍යයකි. සුරාන්තයට ළඟා වන විට තමා සතුව තිබූ සියලු ම මානසික සහ කායික පාලනයන් ගිලිහී යයි. සුරාන්තයට ආසන්නයේදී මෙම පාලනය තබා ගැනීමට උත්සහ කැරෙන කාන්තාවනට සුරාන්තයන් ළඟා කර ගැනීමට ඉතාමත් අපහසු වේ. මෙම පාලනය තබා ගැනීමට උත්සහ කෙරෙන මූලිකම හේතුව , තම සහකරුවා තමා පිළිබඳ වැරදි ලෙස දකීවි හෝ තමාට නිග්‍රහ කරයි හෝ තමාට විසුළු කරයි යන බිය වේ. ඇත්තම කාරණය නම් සහරුවාට අවශ්‍ය වනුයේ  (ඇත්තෙන්ම අරමුණ වනුයේ ) ඔබට හොඳ සුරාන්තයක් ලබා දීමටයි. ඔබට සුරාන්තයක් ළඟා කරදීමට ඔහු අපොහොසත් වුවොත් , ඔහුද මානසිකව ඇදවැටෙනු ඇත. මෙය ඉංග්‍රිසියෙන් help you , help me හෙවත් ඔබට උදව් කිරීමෙන් මටද උදව් ලැබේ යන සිද්ධාන්තය හා බැඳේ.

කාන්තාවන්ට විශේෂයෙන් සුරාන්ත ළඟා කරගත හැකි ඉරියව් කිහිපයක්ද පවතී. මේ අතුරින් සුනඛ ඉරියව්ව (Doggy position- Rear Entry ) , වැඩිදියුණු කරන ලද මිශනාරි ඉරියව්ව ( Modified Missionary position - front entry) , ගොපලු කෙල්ල අනික් පැත්තට ( Reverse Cow Girl - Seated ) , ගැට්ට මත ( On the edge - seated front entry ) ආදී වූ ඉරියව් කිහිපයක් වෙයි. මේවා මඳක් විමසා බලමු.


  1.  සුනඛ ඉරියව්ව (Doggy position- Rear Entry )

  2.  වැඩිදියුණු කරන ලද මිශනාරි ඉරියව්ව ( Modified Missionary position - front entry)
  3. ගොපලු කෙල්ල අනික් පැත්තට ( Reverse Cow Girl - Woman on top )
  4. ගැට්ට මත ( On the edge - standing front entry ) 
මේ මම ද අනුගමනය කරන යම් ඉරියව් ප්‍රමාණයකි. ඇත්තෙන්ම සහකරුට , තමාගේ සහකාරියට දිය හැකි උතුම් ම තෑගි වලින් එකක් ලෙස සුරාන්තය ලබා දීම හුවා දැක්විය හැකිය. මේ හැම ඉරියව්වකම ජී තිත පිරිමැදෙන අතර උසස් වින්දනයක් ලැබිය හැක. එසේම සමහර කාන්තාවනට ජී තිත පිරිමැදීම වේදනාකාරී හෝ අපහසුතා දෙන කරුණක් විය හැකිය.

සුරාන්තයක් ලැබීමේදී  හා ඒ අතරතුර කාලයේදී කාන්තාවකගේ සිදුවන කායික විපර්යාසයන් සැකවින් දක්වමි. මිනිසාට මෙන්ම දෙපයින් නැගී සිටින ක්ෂිරපායි සතුන් (වානරයන්) තම හැඟීම් මුහුණ මගින් පෙන්වයි. සුරාන්තයේ දීද මිනිසාගේ මුහුණේ ඉරියව් අනන්‍ය ලෙස වෙනස් වේ.
  • තනපුඩු විශාල වීම සහ තනපුඩුව ආශ්‍රිත තද පැහැති ප්‍රදේශය විශාල වීම සහ තවත් තද පැහැ වීම.
  • මුහුණ ආශ්‍රිත පෙදෙසෙහි රතු වීමක් දක්නට ලැබීම
  • හුස්ම ගැනීමේ වේගය වැඩිවීම.
  • මුහු‍ණෙහි ඉරියව් වෙනස් වීම ( වේදනාව හෝ සතුට හෝ මිශ්‍ර).
  • යෝනි ශ්‍රාවයන් වැඩි වීම
  • අතපය තද වීම
  • යටි බඩ පෙදෙස සහ ගුද මාර්ගික පෙදෙසෙහි අනිච්ඡානුග ගැස්ම ඇතිවීම
  • සන්තෘෂ්ටිය දනවන හඬ පිට කිරීම
  • හෘද ස්පන්දන වේගය වැඩි වීම
  • දහඩිය දැමීම
  • (ඇතැම් විට) දිය විදුම

Oct 25, 2013

කාන්තාවන්ට ලිංගිකව සක්‍රිය වීම අකැපද ?

 “ හොඳ පතිනියක් වුවත් තම සැමියා සමග නිදි යහනේදි වෙසඟනක් විය යුතුය“ යනුවෙන් ආදි කාලයේ පඬිවරුන් කීවේ කට කසනවාටද ? 


ආයුබෝවන්! අද දවස ඔබට කෙසේද ? අමුතුම ඇරඹුමකින්, මාතෘකාවට පිවිසියේ මෙය කාලීනව වැදගත් යැයි සිතුනු බැවිනි. ඉන්දීය සම්භවය මඳක් මිශ්‍රිත ලාංකේය සමාජය තුළ ලිංගිකත්වය පිළිබඳ කතා කිරීම බොහෝ ජුගුප්සාජනක දෙයක් යැයි මතයක් පවතියි. එහෙත් මිනිසා සමාජයීය සත්ත්වයකු ලෙස තම පහළ පරම්පරාව වෙත , තම දැනුම බෙදා දීම කළ යුතුව ඇති වුවත් මෙම “වැදගත්“ මාතෘකාව පිළිබඳව කිසිවෙකුත් කතා නොකරනුයේ මන්දැයි මට තවම නොවැටහේ.එම වගකීම අතට ගත් අප කණ්ඩායම මෙම බාධකය ඉවත් කිරීමට මහත් සේ කැප වන්නේය.

ලාංකේය කාන්තාවන් ඇත්තටම අද සිටින්නේ අසරණ අඩියකය. ලිංගික දැනුමෙන් සන්නද්ධ වූ කාන්තාවන් සිටිනුයේ අතළොස්සක් පමණකි. මම දැන් පවසනුයේ සංස්කෘතිය සදාචාරය කෙළෙසන දෙයක් නොවේ. ලංකාවේ පාසල් පද්ධතියට ඇතුළත් වූ සෞඛ්‍යය පාඩමේ  ප්‍රජනන පද්ධතියේ රූප පවා බැලීමට ගුරුවරු ඉඩ නොදෙති. ඇත්තෙන්ම ලිංගික දැනුමෙන් සන්නද්ධ වීම යනු අනාචාරයේ හැසිරීම නොවේ. මෙය තව දුරටත් පුළුල් කරත්දී ලිංගික පීඩනය , අයුතු යෝජනා , ලිංගික අතවරයක් සඳහා වටපිටාව සැකසීම ආදී වූ දැනුමද ඇතුළත් විය යුතු බව මාගේ මතය යි. මම , ඇත්තෙන්ම මේ පිළිබඳව ඉදිරි ලිපියකින් සාකච්ඡා කිරිමට අදිටන් කරගෙන සිටිමි.

නැවතත් මාතෘකාවට පිවිසෙමු. ලිංගික දැනුම නැතිව කිසිදු කලෙක පතිනියකට තම සැමියා සන්තර්පනය කළ නොහැකිය. මේ සඳහා අවශ්‍ය දැනුම , කෙසේ හෝ ලබා ගත යුතුය. අවාසනාවකට මෙම දැනුම ලැබෙන්නේ , දැනුවත් ,  වැඩිහිටියෙකුගෙන් හෝ සහෝදරයෙකු හෝ විශ්වාසවන්ත පුද්ගලයෙකුගෙන් නොවේ. අයහපත් මානසික සෞඛ්‍යයයෙන් හෙබි , ලිංගිකත්වය පිළිබඳ මිත්‍යා මත හෙබි , නොදැනුවත් පුද්ගලයන්ගෙන් ලැබෙන අවවාද , අනුශාසනා නොදැන බොරු වලක වැටීමක් වැනිය. කාන්තාවක් අනැවශ්‍ය ලෙස ලිංගිකව සක්‍රිය වුවහොත් , සමාජයෙන් අපවාද නිසැකවම නැගෙනු ඇත. මාගේ පෙර අබිසරු සහ කාමධේනුව යන ලිපියෙහි මේ පිළිබඳව සඳහන් කර ඇත්තෙමි. තවද කාන්තාවන්ගේ සුරාන්තය පිළිබඳවද , බොහෝ ප්‍රතිචාර ලැබුනු ලිපියද කියැවීමට යෝජනා කරමි.

කෙසේ වෙතත් කාන්තාව තම සැමියා සන්තර්පනය කළ යුතුමය. නැත්නම් පවුල් සංස්ථාව ඉක්මනින්ම දෙදරා යනු ඇත. සැමියාද තම බිරිඳ සන්තර්පනය කර සතුටින් තැබිය යුතුමය. එහෙත් කාන්තාවට තම සැමියා ලෙහෙසියෙන්ම සන්තර්පනය කළ හැකිය. නමුත් තමා කවරෙක්ද , තමාගේ ශරීරයේ හැකියාව කෙබඳුද , තමා කුමක් කළ යුතුද  යන්න පිළිබඳව දන්නා කාන්තාව තමාව පමණක් නොව තම සැමියාවද නිසි සේ සතුටු කරයි. කිසිම ලෙසකින් දැනුමක් නොමැතිව (අත්දැකීම් ඇතුව නොවේ!) යුගදිවියට එළැඹෙන කාන්තාව කෙටි කලකින්ම සංසර්ගය සහ ලිංගිකත්වය නිරස වන මට්ටමට පත් වනු ඇත.

කාන්තාවක් ඇත්තෙන්ම යුග දිවිය තුළදී ලිංගිකව සක්‍රිය විය යුතුමය. ලිංගිකව සක්‍රිය වීමට නම් කාලානුරූපීව ලිංගික දැනුම මෙන්ම අත්දැකීම්ද අත්පත් කරගත යුතුම ය. එසේම සැමියා මේ පිළිබඳව විවෘත මනසකින් , තම පියඹ පිළිබඳව විස්වාසයෙන් යුතුව සිටිය යුතුය. දෙදෙනා අතර අන්‍යෝන්‍ය සහයෝගය තිබිය යුතුමය. මක් නිසාද බොහෝ විට රති කෙළියේදී තම ගැහැණියගේ ආධිපත්‍යය , පුරුෂයා අපේක්ෂා කරන බැවිනි. තමාගේ ආශාවන් සන්තර්පනය කර ගැනීමට දන්නා සහ ස්වාධීන කාන්තාවන් කෙරෙහි පුරුෂයන් වැඩි ගෞරවයක් ඇති බව බොහෝ අය නොදන්නා කරුණකි.

ඔබට සුභ දවසක් ! යහ දිවියක් ලැබේවා!෴

Oct 11, 2013

පාඨක ඔබට ස්තුතියි! ලංකාවේ එකම ලිංගික අධ්‍යාපන බ්ලොගය පිටු කියැවීම් 10,000 ඉක්මවයි!

පාඨක ඔබට ස්තුතියි! ලංකාවේ එකම ලිංගික අධ්‍යාපන බ්ලොගය පිටු කියැවීම් 10,000 ඉක්මවයි! තව දුරටත් මෙම බ්ලොගය , වඩාත් ගුණාත්මකව දැනුම බෙදා දීම සඳහා කැප වී සිටින අතරම පාඨක ඔබේ ප්‍රතිචාරයද ඉමහත් ලෙස අගය කරයි.

ඔබට කඩතුරා කණ්ඩායමේ ආචාරය!

Oct 1, 2013

ආදරය සහ රාගය

මේ පුළුල් වූ මාතෘකාව සදහා මා මුලින්ම සත්ත්වයා සහ මිනිසා යන දෙකොට්ඨාශයේ වෙනස පිළිබඳ හැඳින්වීමක් කරමු. මූලිකව ම මිනිසා සහ අනෙකුත් සත්ත්වයන් අතර ඇති සුවිශේෂි ම වෙනස වනුයේ මිනිසාට මිහිපිට වෙසෙන සියලු ම සත්ත්වයන්ට වඩා මුහුකුරා ගිය බුද්ධියක් තිබීමයි. මස්තිෂ්කයේ වර්ගඵලය වැඩි කිරීම මගින් මිනිසාට අතිවිශාල න්‍යුරෝන ප්‍රමාණයක් හිමිව තිබේ. එහෙත් අනෙකුත් සත්ත්වයන් ද කාලානුරූපීව බුද්ධිය විකාශනය වුව ද මිනිසා තරම් පරිකල්පන හැකියාවන් දියුණු කිරීමේ අරමුණක් උන් සතුව නැත.

තත්ත්වය මෙසේ තිබියදී අපි සියලු ම සත්ත්ව ලෝකය දෙස ඇස යොමා බලමු. සියලුම සත්ත්වයන් තම වර්ගයා බෝ කිරීමේ අවශ්‍යතාව මත ලිංගික සංසර්ගයේ යෙදේ. තවද මෙම සත්ත්වයන් හට වරකට පැටවුන් එකකු හෝ දෙදෙනකුට වැඩි ප්‍රමාණයක් බිහි කළ හැක. මෙය හුදෙක්ම ජීව රසායනික ක්‍රියාවලියක් වේ. සියලුම ගැහැණු සතුන් වසරේ නියමිත කාලයකදී ලිංගිකව සරු බවට පත් වන අතර පිරිමි සතුන් හට මේ බව , ගැහැණු සතුන්ගෙන් නිකුත් වන රසායනිකන් ගේ උත්තේජනයන් මගින් පවසනු ලබයි. මින් පසු පිරිමි සත්තු ගැහැණු සතුන් සමග එක් වීමට තරග කරති. ශක්තිමත්ම පිරිමි සතා ගැහැණු සතා සමග එක් වන අතර මෙහිදී තරග වැදීමේදී පිරිමි සතුන් මිය යාම ස්වභාව ධර්‍මයේ  කුරිරු බව මොනවට විදහා දක්වයි. මෙය රාගය හෝ ආදරය යැයි අර්ථකතනය කිරිම නිවැරදි නොවේ.

ආදරය හෝ රාගය යනු ඇත්තෙන්ම මිනිස් සිතේ උපදින සිතිවිලි මගින් ඇතිකරන්නා වූ මානසික මට්ටමකි. වෙනත් සතුන් හට  මෙය අල්ප වශයෙන් ඇති අතර තම දරුවන් රැකබලාගැනීම සහ ඉගැන්වීම සඳහා සහජයෙන් ඇති ඉව ඉවහල් වේ. පැටවුන් උස් මහත් වූ පසු ඔවුන් වෙන වෙනම ජීවත් වෙති. නමුත් මිනිසාගේ දෙමාපිය - දරු  ආදරය මෙයට වඩා පුළුල් විශයක් වන අතර අද දින මෙම මාතෘකාවේදී මෙය සාකච්ඡාවට බඳුන් නොවේ. මිනිස් ශිෂ්ටාචාරය විසින් රැගෙන ආ සංකල්පයන් මත අද මිනිසා තම වර්ගයා බෝ කිරීමට බාහිර පරිසරය යොදා නොගන්නා අතර සංවෘත ස්ථාන යොදා ගනියි. තම පෞද්ගලිකත්වය ලෙස සීමා මායිම් යොදා ගෙන තත්ත්වයන් බොහෝ සංකීර්ණ කරගෙන සිටිති. කෙසේ වෙතත් මිනිසාගේ පරිකල්පන හැකියාවත් , නූතන සමාජය විසින් අනුබල දෙන්නා වූ කාරණා නිසාත් මිනිසාගේ ආදරය සහ රාගයෙහි මානයන් වෙනස් වී ඇති බව නම් අප අද අත්දක්නා සත්‍යයක් වේ.

ඇත්තේන්ම ආදරය සහ රාගය යනු ඉතා බලවත් මානසික තත්වයන් දෙකක් වේ. මෙය නිසි ලෙස යෙදැවීමෙන් මිනිසෙකු දියුණුවට පත් වීමටත් , අගාධයට යෑමටත් පුළුවන. එහෙත් නන්දා මාලනිය පවසන අයුරින් “ප්‍රේමය නම් රාගයෙන් තොර , සඳ එළිය සේ අචින්ත්‍ය , පාරිශුද්ධ ! “  නම් නැත. ඇත්තෙන්ම ආදරය තුළ රාගය යම් පමණකට පවතී. නමුත් සර්‍වසම්පූර්ණයෙන්ම වූ රාගය තුළ ආදරයක් අනුකම්පාවක් ඇත්තේ ම නැත. රාගය තුළ ඇත්තේ අයෙකු තුළ ඇති බුර බුරා නැගෙන කාමාශාව සිඳුවා ගැනීමට ඇති ආශාවයි. පිරිමියෙකු සහ ගැහැණියක අතර ඇති ආදර ගනුදෙනුවේදි එකිනෙකා වෙත අනුකම්පාව , දයාව, සෙනෙහස මෙන්ම කායික ආශාවන් සන්තර්පනය කරගැනීමට අවැසි රාගයද තිබිය යුතුය. නැති නම් මෙය හුදෙක්ම උත්තමයන් සමාජයේ අන් අයට දක්වන ආදරයක් පමණක් වන අතර හෝ අනෙක් අතකට ගත්කළ ආදරයෙන් තොරව දක්වන්නා වූ ශාරීරික බැඳිම , සතුන් වර්ගයා බෝ කිරීමේ අරමුණ හා සමාන බව කිව හැකිය.

කෙසේ වෙතත් තවමත් අප මොළයෙහි දියුණු නොවූ කොටස් ඇත. රාගය , පළා යාම , සටන් කිරීම , හදිසි අවස්ථාවන් හිදි නොසිතන ජවයන් ලැබීම ආදී වූ නොයෙක් දෑ මෙම නොදියුණු සත්ත්ව කොටසෙහි ක්‍රියා කාරීන් වේ. මිනිසකු තම මොළයෙන් 2% ත් 4% ත් අතර භාවිත කරන බැව් විද්‍යාත්මක මතයයි. මෙම ආදරයද මිනිසාගේ මොළයෙන් රාගිකව දෙන්නා වූ පණිවුඩය නිර්මාණාත්මකව පරිවර්තනය කිරීමක් යැයි පැවසීම වරදක් නොවේ. මන්ද ආදරය කරන දෙදෙනෙකු එකිනෙකා ආකර්ශනය කර ගැනීමට යමක් කරනුයේ අනාගතයේ දවසක යහන් ගතවීමට නොවේද ?මේ ගැන තව දුරටත් විග්‍රහ කිරීම ඔබට බාර කරමි.

එහෙත් අප මෙහිදී නොදකින තවත් පැතිකඩක් තිබේ. එනම් ආදරයේ හෝ රාගයේ අන්ත දෙක පිළිබඳවයි. ආදරයේ හෝ රාගයේ ඍණාත්මක පැත්ත නම් කෙනෙකුට විරුද්ධ හෝ සම ලිංගිකයන් පිළිබඳ කිසිදු අයුරකින් සංවේදනය නොවීමත් , තමා අන් අයට මෙන්ම තමාටද වෛරීය ස්වභාවයෙන් සිටීමත් වේ. මේ අය සමාජයෙන් කොන් වන්නා සේම දැඩි මානසික පීඩනය යටතේ සිය දිවි හානි කරගැනීමටද එළැඹිය හැකිය.
එසේම කාසියේ අනෙක් පැත්ත වන දැඩි රාගය සහ ආදරය ගත් කල්හි රාගය අධික පුද්ගලයන් අතින් ළපටි , මහලු , සමවයස් කාන්තාවන් හෝ පුරුෂයන් ලිංගික අපයෝජනයට ලක් විය හැකි අතර බොහෝ විට වෛශ්‍යාවන් කරා යොමු වන්නේද , කාන්තා හිංසනයට මුල පුරන්නේද මෙවැනි මිනිසුන් වේ. මහ උළු ගෙදර බොහෝ විට මෙවන් මිනිසුන්ගේ අවසාන නවාතැන වේ. ආදරය අධික වීමද අනෙක් අයට හිරිහැරයක් වීම වළක්වාලිය නොහැක. කෙනෙකු තවත් අයෙකු පිළිබඳව අසීමිතව සොයා බැලීම , දැඩි රැකවරණය ලබා දීම රැකවරණය ලබන්නා අපහසුතාවයට පත් කරනු ලබයි. එසේම අසීමිතව ආදරය කරන්නා බොහෝ විට සිත් තැවුලට පත්වන අතර මානසිකව කඩා වැටී , තම ජීවිතයෙන් වන්දි ගෙවීමට තීරණ ගැනීමද වළක්වනු නොහැකි වනු ඇත.

ආදරයේ සහ රාගයේ නිර්වචනය පුළුල් කිරීමේ හැකියාව ඔබටත් පවතී. අපත් සමග සාකච්ඡා කරන්න.෴

ඔබට සුභ දිවියක්! සුභ අනාගතයක් ලැබේවා!

Sep 10, 2013

මම කවදාවත් එයත් එක්ක රණ්ඩු වෙලා නෑ!!

ආයුබෝවන් ! අද දවස ඔබට කෙසේද?

“මම කවදාවත් එයත් එක්ක රණ්ඩු වෙලා නෑ...“  කවදා හෝ ඔබ මෙම වාක්‍යය අසා තිබෙනවාද? ඔබගේ මිත්‍රයන්ගේ ප්‍රේම කතා , ඔබ විශ්වාස කරන චරිත  හෝ ප්‍රේම කතා වලදී ? පිළිතුර ඔව් නම් ඔබගේ මිතුරා/ මිතුරිය හෝ මෙම වාක්‍යය පැවසූ පුද්ගලයා ඔබට මුසාවක් පවසනවා හෝ ඔවුන්ගේ පවුල් හෝ ආදර සබඳතාව ඉතාමත් දුබල තත්වයේ පවතිනවා විය යුතුය.

ඇත්තෙන්ම කාන්තාවක සහ පුරුෂයෙකු එකට ජීවත් වීමේදී දෙදෙනා සර්ව සම්පූර්ණ අය නොවන බැවින් සහ දෙදෙනා සෑම අතින්ම අසමාන වන නිසා දෙදෙනාගේ සිතුම් පැතුම් , අවශ්‍යතාවයන් ආදිය සර්වසම්පූර්ණයෙන්ම වෙනස් වේ. මේ හේතුව මත ම බොහෝ විට ගැටුම් නිර්මාණය වීමේ වටපිටාවක් සැරසේ. දෙදෙනාගේ ඉහත වෙනස්කම් කිසිසේත්ම ඔවුනගේ අඩුපාඩුවක් නොවන අතර ඒවා හුදෙක්ම දෙදෙනාගේ වෙනස්කම් වේ. උපතින්ම ස්වභාවධර්මය විසින් ගැහැණියකට තම සමාජය පිළිබඳව සොයාබැලීම මෙන්ම තම වර්ගයා රැකබලාගැනීමද උරුම කැර දී ඇති අතර පිරිමියකුට ආහාර සොයා දීම , ආරක්ෂාව සහ රැකවරණය ලබාදීම , අලුත්වැඩියා කටයුතු කිරීම , තර්කානුකූලව ප්‍රශ්න විසඳීම ආදිය උරුම කර දී ඇත. මා ඉහත දැක්වූයේ ඉතාම අල්ප උදාහරණ කිහිපයක් වේ.

මත ගැටුම් ඇතිවීම , සිත් රිදවීම් සිදුවීම දිගු කාලීන සම්බන්දයන් කඩා ඉහිරීමට හෝ වඩාත් ශක්තිමත් කිරීමට යොදා ගැනීම දෙදෙනා විසින් තීන්දු කළ යුතු කරුණක් වේ. මත ගැටුම් ඇතිවීමට ප්‍රධානතම හේතුව නම් අයෙකු අනෙකා දෙස අනෙකාගේ පසින් නොසිතා කටයුතු කිරීම වේ. දිගු කාලීන සම්බන්ධයකදී සෑම විටම දෙදෙනා අනෙකා සිතන පතන ආකාරය පිළිබඳ මදක් සැලකිලිමත් විය යුතුය. උදාහරණයක් ලෙස ගත හොත් කාන්තාවක් නිතරම තමාගේ සහකරුවා  තමා පිළිබඳ සොයා බලනවාට ඉතාමත් ආශාවෙන් පසුවෙයි. මෙය කාන්තාවක් නිතැතින්ම බලාපොරොත්තු වෙන දෙයක් වේ. පිරිමියකු , කාන්තාවකගේ මෙම ආශාව දැනගෙන ඈ හට දිනකට වරක් දෙවරක් දුරකතන ඇමතුමක් ලබා දීමෙන් හෝ කෙටි පණිවිඩයක් ලබා දීමෙන් හෝ සුළු ත්‍යාගයක් ලබා දීමෙන් ඈගේ ආශාවන් සන්තර්පනය කළ හැකිය. මේ අයුරින්ම පිරිමියාද තමාව අගය කරීම බලාපොරොත්තු වේ. රාජකාරි දින අවසානයේදී මානසිකව මෙන්ම ශාරීරිකවද වෙහෙස වී පැමිණෙන සැමියා උණුසුම් ලෙස පිළිගැනීම සහ තේ ආදී පානයක් ලබා දී ඔහුව දිරිමත් කිරීම මගින් සැමියාගේ ආදරය මෙන්ම ලෙන්ගතු කමද වඩාත් වැඩි වේ.

එහෙත් ගැටළුව පැන නැගී ඇත්තේ වත්මන් සංකීර්ණ සමාජයේදී ගැහැණිය සහ පිරිමියා යන දෙදෙනාම රාජකාරි සඳහා පිටත්ව යෑමත් නිවසට පැමිණි පසු ගැහැණිය , ගෘහණිය වීමේ චරිතය එලෙසම වෙනස් නොවී තිබීමත් යන හේතුව මතය. ඇත්තෙන්ම ගැහැණියකට මෙය මානසිකව මෙන්ම ශාරීරිකවද ඉතා විශාල ලෙස බලපායි. රාජකාරි අවසානයේ නිවසට පැමිණෙන ඇය හා මඳක් දොඩමලු වී අවසන් වූ රාජකාරි දිනය පිළිබඳ මඳක් සොයා බලා , ආදරණීය උණුසුම් හාද්දක් නළලතට දී මෙන් ඇගේ විඩාව මානසික පීඩනය බොහෝ දුරට අඩුකර ගත හැකි බව මා අත්දැකීමෙන් දන්නා කරුණකි.

මේ පරිද්දෙන්ම කාන්තාවන්ගේ කතාබහට නිසි ආකාරයෙන් ඇහුම්කන් දීම සහ නිවැරදි අයුරින් වටහා ගැනීම දිගු කාලීන සම්බන්ධතාවක් තබා ගැනීමට කැමති පිරිමයකු ප්‍රගුණ කළ යුතු කුසලතාවයකි. මේ පිළිබඳව මහාචාර්ය ජෝන් ග්‍රේ ලියූ  Mars and Venus පොත් පෙළහි මනා අයුරින් දක්වා ඇත. උදාහරණයක් ලෙස ගතහොත් කාන්තාවක් “ ඔයා මට කවදාවත් ආදරයෙන් කතා කරන්නෙ නෑ“ යනුවෙන් කියනුයේ “අපි ඉස්සර ගොඩක් ආදරෙන් හිටිය. ඔයා මට ගොඩක් ආදර , බොළඳ කතා කිව්වා, ඔයා දැන් එහෙම කරන්නේ නෑ. මම ඒ වගේ  ආදර , බොළඳ කතා ඔයාගෙන් බලාපොරොත්තු වෙනවා“ . නමුත් නුපුහුණු පිරිමියා මෙය සලකනුයේ ඔහුට කරන අපහාසයක් , නින්දාවක් ලෙසය. එවිට ඔහු “ ඔයා කොහොමද එහෙම කියන්නෙ! එක දවසක් දෙකක් නෙමෙයි මම ඔය කතාව අහල තියෙන්නෙ. .........“ . මෙන්න මෙයයි ගැටුම් වල මූලික බීජය.

මත ගැටුම් ඇති වීම ස්වභාවික දෙයක් වුවත් එය පලදායි අයුරින් පරිවර්තනය කරගැනීම බුද්ධිමත් යුවලක් සතු වගකීමකි. මේ පිළිබඳව තවත් ලිවීමට ඉදිරියේදී බලාපොරොත්තු වෙමි. එතෙක් ඔබට
සුභ දවසක් ! යහ දිවියක් ලැබේවා෴

Aug 26, 2013

ඔසප් දින වල ලිංගික එකතු වීම

ආයුබෝවන් ! අද දවස ඔබට කෙසේද?

මා අද සාකච්ඡා කිරීමට යනුයේ බොහෝ විවාහක යුවල මාගෙන් අසන ගැටළුවක් පිළිබඳව ය. මෙය බොහෝ කාන්තාවන්ට නිරස මාතෘකාවක් ලෙසද පිරිමින්ට කුතුහලය දනවන මාතෘකාවක් ලෙසද ඇතමෙක්ට ජුගුප්සාජනක මාතෘකාවක් ලෙසද අර්ථදැක්විය හැකිය. කෙසේ වෙතත් ලිංගිකත්වය සහ ලිංගික අධ්‍යාපනය සඳහා වෙන් වූ මෙම ලිපි පෙළෙන් කිසිවෙකු සාකච්ඡාවට බඳුන් නොකරන මෙවන් මාතෘකා සමාජගත කිරීම මාගේ අරමුණයි.

ඇත්තෙන් ම ඔසප් වීම යනු කුමක්ද ? සාමාන්‍ය ලෙස ගතහොත් වැඩිවියට පත් නිරෝගි කාන්තාවකගේ දින 28 † කට වරක් ගර්භාෂ බිත්ති බිඳ වැටීම සහ ඉන් දින 14 කට පසුව ඩිම්බහරණයක් සඳහා සූදානම් කිරීමක් යනුවෙන් දැක්විය හැකිය. මෙමගර්භාෂ බිත්ති බිඳ වැටීම ඇතැමෙකුට අධික වේදනාකාරී කාලයක් වන අතර ඇතැමෙකුට මඳ වේදනා ගෙනදෙන්නක් ලෙස දැක්විය හැකිය. මෙහිදී මතක තබාගත යුතු කාරණය නම් මෙම ඔසප් වේදනා ඔබගේ එදිනෙදා ජීවිතයේ ක්‍රියාවන් කිරීමට අපහසු වන තරමට වේදනා කාරී නම් වෛද්‍ය උපදෙස් ලබාගැනීම වඩාත් යෝග්‍ය බවයි. සමහරු මෙම ඔසප් වීමේදී පිටවන රුධිර තරලය සහ ගර්භාෂ බිත්ති කොටස් පිළිකුල් ලෙස දුටුවද ඇත්තෙන්ම එම පිටවන තරලයෙහි කිසිදු අපද්‍රව්‍යයක් නැති බවත් කුණු ලේ හෝ එවැනි කිසිවක් නැති බවත් පෙන්වා දිය යුතුය.

ඇත්තෙන්ම මෙම කාලයෙහිදී කාන්තාවන්ගේ තවත් සංකූලතා ඇති වේ. හෝර්මෝන අධික ලෙස වෙනස් වීම නිසා පියයුරු වේදනාවද, මනෝභාවයන් ක්ෂණික ලෙස වෙනස් වීමද , කුරුළෑ සහ හිස්සොරි ආදිය සෑදීමද, මානසික ආතතිය මෙන්ම විෂාදය ආදී බොහෝ ලක්ෂණ පහළ වේ. මෙම සංකූලතා නිසා කාන්තාවන් බොහෝ විට ලිංගිකව එකතු වීමට අකමැති වෙති.

එහෙත් සහකාරිය මෙවන් අවස්ථාවක ලිංගිකව එකතු වීමට කැමති නම් එහි වරදක් නැත. එනමුත් පිරිමියා මෙය පිළිකුල් කරයි නම් ලිංගිකව එකතු වීම ඔසප් තරලය පහව යනතුරු පසුකිරීම දෙදෙනාටම සුවදායකය. එසේම දෙදෙනාම ලිංගිකව එකතු වීමට කැමැත්ත පළ කරයි නම් ලිංගිකව එකතු වීම වරදක් නොවේ. නමුත් මතක තබා ගන්න........

  • අමතර ඇඳ ඇතිරිලි භාවිතා කරන්න.
  • ඉවසිලි වන්ත වන්න.
  •  මෙහිදී සෘජුවම රුධිරය සම්බන්ධ වන නිසා ලිංගිකව සම්ප්‍රේශනය වන රෝග පහසුවෙන් වැළඳිය හැකිය.
  • සාකච්ඡාවෙන් පහසු ඉරියව්වක් තෝරාගන්න.


මෙය සාමාන්‍ය වේ. ඇතැමෙකුගේ මෙය අඩු හෝ වැඩි වීමේ සම්භාවිතාවක් පවතී

ඔබට සුභ දවසක් ! යහ දිවියක් ලැබේවා!෴

Aug 20, 2013

නිදි යහනේදී අඹු සැමියන් අතර සිදුවන සිත් රිදවීම්

ආයුබෝවන් ! අද දවස ඔබට කෙසේද?

ගැහැණියක සහ පිරිමියෙකු අතර ඇති විය හැකි උසස් ම සම්බන්ධය මෛථුන්‍යය යි. ආදරයේ නාමයෙන් මුල් කොට ගෙන සිදුවන මෙම සම්බන්ධය මනුෂ්‍ය සංහතියේම උසස් ම බන්ධනය ලෙස මම අරුත් ගන්වමි. එහෙත් මෙම කාරණාවේදී සෑම දෙයක් ම සැම දිනකම ඒ ආකාරයෙන්ම වේ යැයි බලාපොරොත්තු විය නොහැකිය. මක් නිසාද යත් සුප්‍රසිද්ධ සමාජ විද්‍යාඥයකු වන  ආචාර්ය ජෝන් ග්‍රේ මහතාගේ මතය අනුව මිනිසා සහ ගැහැණිය මානසිකව ලෝක දෙකක ජීවත් වන බැවිනි. (Men are from Mars, Women are from Venus -John Gray Ph.D). 

ගැහැණිය යනු අහස වැනි යැයි පැරැන්නෝ කීවෝය. එය සත්‍යයකි. ගැහැණියකගේ මානසිකත්වය සහ කායික හැඩගැස්ම සියල්ල එක් ඒකකයක් සේ ක්‍රියා කරයි. නිතරම සිය පිරිවර ගැන සිතමින් තමා වෙත කිසිදු දෙයක් ඉතිරි කර ගනිමින් ගැහැණිය අනුන් වෙනුවෙන් කැප වී ජයග්‍රහණය කරයි. එහෙත් මෙහිදී ඇති වන මානසික විඩාව නිසා එක් අවස්ථාවක අධික ලෙස හැඬීමටත් , තවත් විටක සතුටින් ඉපලීමටත් ගැහැණියකට හැකිය. කාන්තාවකට සාමාන්‍යයෙන් තම හැඟීම් යටපත් කරගෙන කටයුතු කළ නොහැකිය. ඇයට සෑම දෙයම හැඟීම් ය. දැනීම්ය. ඇය මේ නිසා තමාට හැඟීම් අතින් බොහෝම හිතවත් අයෙක් සමග විවිධ අයුරින් මෙම හැඟීම් බෙදා ගනියි. සාර්ථක පවුල් ජීවිතයක නම් එම හිතවතා තම සැමියා වේ. එබැවින්ම ගැහැණිය යනු අහස වැනි යැයි පැරැන්නෝ කීවෝය. 

මේ අතර පිරිමියා බොහෝ විට තම අභිමානය රැක ගැනීමටත් , තම පෞද්ගලික ඉලක්කයන් සපුරා ගැනීමට සමත් , තනිකම නිදහස ප්‍රිය කරන පිරිසකි. නිතරම තම අරමුණු සහ ඉලක්ක ජය ගැනීම කෙරෙහි සිත යොමු කරන පිරිමියා තම හැඟීම් සමග අනෙකුත් දේ සම්මිශ්‍ර වීමට ඉඩ නොදේ. මේ නිසා සෑම විටම පිරිමියා , ගැහැණියකගෙන් හැඟීම් නැති අයකු ලෙස චෝදනා ලබයි. 

ඉහත කෙටියෙන් දක්වා ඇති ගැහැණු පිරිමි අර්ථ නිරූපනයට අනුව කාන්තාව යහන්ගත වීමේදී පවා තම හැඟීම් තම අත්දැකීම් කර ගැනීමට උත්සහ කරන අතර පිරිමියා ආදරය මිශ්‍ර වුවත් කාමයට මුල් තැන දී කටයුතු කරයි. පිරිමියා විශේෂයෙන්ම තම ලිංගික හැකියාව මැන බලනුයේ තම ගැහැණිය කොපමණකින් සතුටු කළ හැකිද යන සාධකය මත ය. තම ගැහැණිය සතුටු නොවුන හොත් තමාගේ ලිංගික හැකියාව මඳ බවත් , එය තමාගේ අභිමානයට පහරක් බව දැනීම නිසා කණගාටුවටත් , චිත්ත පීඩාවටත් පත් වේ. ගැහැණිය උපරිමයට සතුටු කොට ඇයට සුරාන්ත කිහිපයක් ලබා දුන හොත් එය ඔහුගේ ජයග්‍රහණයක් සේ සලකයි. බොහෝ විට පිරිමියා කුමන මානසිකත්වයක සිටියද ඔහුට සුරාන්තයක් කරා එළැඹීමට එතරම් පරිශ්‍රමයක් දැරිය යුතු නැත.

තත්ත්වය මෙය වුවත් කාන්තාවකගේ ක්‍රියාවලිය මෙයට හාත්පසින්ම වෙනස් වේ. තමාගේ පිරිමියාගෙන් තමා හට ලැබෙන සහයෝගය මත ගැහැණිය යහන්ගත වීම තීරණය වේ. ඇතැම් දින වලදී ඇයට යහන්ගත වීමට “හැඟීමක් “ නැතිවීමට පුළුවන. එවිට පිරිමියා මෙයට සවන්දීම ඉතාම වැදගත් වේ. ඇතැම් දින වලදී තම ගැහැණිය සුප්‍රසිද්ධ කාම නළඟනක් සේ යහන්ගත වීමටද ඉඩ ඇත. ඇතැම් දින වල ස්පර්ශ , සිප වැළඳ ගැනීම් පමණක් සිදු කිරීමටද ඇයගේ කැමැත්ත පවතී. ඇත්තටම පිරිමියාට මෙම වෙනස තේරුම් ගත නොහැකිය. කාලයාගේ ඇවෑමෙන් මෙය තේරුම් ගත හැකි වුවද , මුල් කාලයේදී මෙම වෙනස වටහා ගැනීම ඉතාම අපහසුය.

මේ ආකාරයටම පිරිමියාටද තම ගැහැණිය සතුටු කිරීම පීඩනයක් වේ. මක් නිසාද එය ඔහු‍ගේ අභිමානය පිළිබඳ ගැටළුවක් බැවිනි. නමුත් සාකච්ඡා කිරීමෙන් අනැතුරුව දෙදෙනාගෙන් අයකුවත් එසේ සතුටු වීම බලාපොරොත්තු නොවේ යන සම්මුතියට එළැඹගත් කළ එදින පිරිමියාට කිසිදු පීඩනයකින් තොරව යහන්ගත වීටද පුළුවන. කාන්තාවන් විශේෂයෙන්ම මතක තබා ගත යුතු කරුණක් නම් පිරිමියා යහන්ගත වීමේදී සිදු කරන දෑ හෝ ඔහුගේ ලිංගික අවයව පිළිබද හෝ විශේෂයෙන් සංවේදී බවයි. මේ නිසා මෙම දේ පිළිබඳ සසඳා බැලීම් , විවේචනය කිරීම් පිරිමියාගේ සිත් තැවුලට පත්වීමට විශේෂයෙන් බලපායි. පිරිමියාද තම ගැහැණිය සමග යහන්ගත වීමට හෝ වීමේදී බලපෑම් එල්ල කිරීම එම දිනයම අපතේ යැවීමක් විය හැකිය. 

සාකච්ඡාව ඇත්තෙන්ම සයලුම පවුල් ආරවුල් විසඳීමට සුදුසුම මගයි. ඉහත කී මත ගැටුම් අවම වීමට සාකච්ඡා කිරීමත් , එකිනෙකාගේ හැඟීම් තේරුම් ගැනීමට උත්සහ කිරීමත් , ඒවාට ගරු කිරීමත්  බලපානු ඇත. මේ අයුරින් පවුල් සංස්ථාවක ගැහැණිය සතුටින් තැබීම , මුළු පවුල් සංස්ථාවම සතුටින් තිබීම හා සමාන යැයි මාගේ මතය යි. 

ඔබගේ මත සඳහා මා විවෘත අතර මෙවන් ලිපි ලිවීම සඳහා මා හට කමෙන්ටු මගින් දිරිමත් කිරීම් ලබා දෙන ලෙස ඉල්ලා සිටිමි.

ඔබට සුභ දවසක්! යහ දිවියක් ලැබේවා!

Aug 16, 2013

මොකක්ද මේ Candidiasis ?

Candidiasis යනු දිලීරයක් නිසා සෑදෙන ආසාදන තත්ත්වයකි. මෙම තත්ත්වයට මූලික වන දිලීරය නම් යීස්ට් කුලයට අයත් Candida නම් දිලීරයයි. මෙය ඉතා බරපතල ආසාදන තත්ත්වයක් නොවූවත් බොහෝ සිත් තැවුලට පත් වන මහත් අසහනකාරී ආසාදන තත්තවයකි. සාමාන්‍යයෙන් අපගේ සම මත මෙම දිලිරය ඉතා අවම මට්ටමක පවතී. යම් යම් හේතු සාධක නිසා මෙම දිලිරය මිලියන ගණනින් ගුණනය වී ආසාදන තත්ත්වයන් ඇති කළ හැකි අතර , සුළු ප්‍රතිකර්ම මගින් මෙම තත්ත්වය සුව කරගත හැක.

ඉහත කී ආසාදනයන් ශරීරයේ විවිධ ස්ථාන ආසාදනය කළ හැක. ඒ අතුරින්,
  • සම
  • ලිංගේන්ද්‍රිය
  • උගුර
  • මුඛය
ප්‍රමුඛව දැක්විය හැකිය. නමුත් මා මෙහිදී කතා කිරීමට සැරසෙනුයේ ලිංගේන්ද්‍රිය ආශ්‍රිත ආසාදන තත්ත්වය පිළිබඳවයි. ලජ්ජාව නිසා මෙම ආසාදන තත්ත්වය සඟවාගෙන සිටින බොහෝ කාන්තාවන් හා පුරුෂයන් හට මෙම පණිවුඩය ගෙන යාමට අදහස් කරමි. මාගේ කඩතුරා ගැටළු තුළද මේ සඳහා යම් පිළිතුරක් ලබා දීමට සමත්ව ඇත.

ඔබගේ ලිංගික අවයවය ආශ්‍රිතව කැසීමක් ඇත්නම්, මුත්‍ර පහකිරීමේදී වේදනාවක් ඇති වේ නම්, මෛථුන්‍යයේදී පෙර නොවූ වේදනාවක් ඇති වේ නම් ඔබට මෙම ආසාදනය ඇති වී තිබීමට පුළුවන. නමුත් වෙනත් ලිංගිකව සම්ප්‍රේශනය වන රෝග වලින්ද මෙවැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරන නිසා වෛද්‍ය උපදෙස් ලබා ගැනීම නුවණට හුරු වේ. 

මෙහිදි බොහෝ විට ක්‍රීඩාවෙහි නිරත වන අයට සහ ඇදුම සඳහා ඖෂධ භාවිතා කරන අයට මෙම රෝගය ඉක්මනින් වර්ධනය විය හැකිය. ක්‍රීඩකයන්ගේ/ක්‍රීඩිකාවන්ගේ  යට ඇඳුම් බොහෝ විට දහඩිය සමග තෙතමනය රැඳෙන බැවින් දිලීරයන්ට වර්ධනය වීමට මහත් හිතකර පරිසරයක් නිර්මාණය කරන අතර ඖෂධ භාවිතා අයගේ ශරීරයෙන් සමේ සිටිනා “හිතකර“ ක්ෂුද්‍ර ජීවීන් ද විනාශ කරන බැවින් ඉහත කී දිලීර ඇතුළු අහිතකර ක්ෂුද්‍ර ජීවීන්  වැඩීමට සුදුසු පරිසරයක් නිර්මාණය වේ. තවද පිළිකා සඳහා පිළිකා නාශක එන්නත් ශරීරගත කළ අයද , ඒඩ්ස් රෝගය වැළඳුන අයට මෙම ආසාදනය ඉතා දරුණු ලෙස බලපෑමට හැකිය.

ශිෂ්නය ආශ්‍රිත ආසාදනය (Penile Candidiasis)

මෙහිදී ශිෂ්නය ආශ්‍රිත කැසීමක් ඇතිවිය හැකි අතර ශිෂ්නය කෙළවර , පෙරසම , අණ්ඩ කෝෂයෙහි සම ආදියෙහි සුදු දැලක් හෝ රතු පැහැ වීමක් දක්නට ලැබේ. මෛථුන්‍යයේදී අධීක වේදනාවක් ඇති විය හැකිය.
තවද මෞත්‍ර විවරයෙන් සුදු පැහැති ශ්‍රාවයක් පැමිණීමටද ඉඩ ඇත.
වෛද්‍යවරුන් පෙන්වා දෙන පරිදි පෙරසම ඉවත් කරන ලද පුරුෂයන්ට මෙය වැළඳීමේ අවධානම අඩුය.

යෝනිය ආශ්‍රිත ආසාදනය (Vaginal Candidiasis)

මෙය කාන්තාවන් අතර බහුල ආසාදන තත්ත්වයකි. සෑම කාන්තාවන් 3-4 අතර තම ජීවිත කාලයේදි මෙම ආසාදනයට පත් වීමට පුළුවන. මෙහිදීද යෝනි විවරය සහ ඒ ආශ්‍රිතව ඇකිවන තදබල කැසීමක් , මුත්‍ර පහකිරිමේදී අධික වේදනාවක් , මෛථුන්‍ය යේදී අධික වේදනාවක් , සුදු පැහැයට හුරු යෝනි ශ්‍රාව ගැලීමක් ඇතිවිය හැකිය.
මෙහිදී බොහෝ විට කාමාශාවන් පවා යටපත් විය හැකිය. විශේෂයෙන්ම ගැබිණි මව් වරුන්ගේ හෝර්මෝන වෙනස් වීමත් සමගම මෙම ආසාදන තත්ත්ව ඇතිවිය හැකි බව වෛද්‍ය මතයයි.

ප්‍රතිකර්ම

  1. ප්‍රාථමික මට්ටමේදී දිලීර සඳහා වූ ආලේපන වර්ග භාවිතයෙන් ආසාදන තත්ත්වය මග හරවා ගත හැකිය.
  2. තද ඇඳුම් සහ ජල අවශෝෂක නොවන අමුද්‍රව්‍ය යොදා තැනූ යට ඇඳුම් ඇදීමෙන් වලකින්න.
  3. හැකි තරම් ආසාදිත ප්‍රදේශ වියලිව තබා ගන්න.
  4. නිතර නිතර මෙවැනි ආසාදන තත්ත්ව ඇති වේ නම් වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
ඔබට සුභ දවසක්! යහ දිවියක් ලැබේවා!

Aug 5, 2013

සුරාන්ත(ය) - කාන්තාවන්ට අතිවිශේෂයි! | Orgasm(s)- specially for ladies

ආයුබෝවන්! අද දවස ඔබට කෙසේද?

මූලාශ්‍රය : http://sensualblissvoyager.wordpress.com/2012/10/03/10-surprising-facts-about-orgasms/


මම සති කිහිපයක් කල්පනා කිරීමෙන් අනැතුරුව කාන්තාවන්ගේ සුරාන්තය පිළිබඳ යම් විවරණිකාවක් ගෙන හැර දැක්වීමට ඉටා ගතිමි.  ඇත්ත වශයෙන් ම මෙම ලිපිය කියවන බොහෝ දෙනා සුරාන්තය යන්න කුමක්දැයි යන්තමින් හෝ දන්නවා ඇතැයි සිතමි.

ඇත්තෙන්ම කාන්තාව යනු  හාත්පසින්ම ලිංගික කර්තව්‍යයෙහිදී පිරිමින්ට වඩා වෙනස් අයුරින් ආශ්වාදය හෝ අත්දැකීම් ලබන කොට්ඨාශයකි. කාන්තාව පිරිමින් මෙන් ක්ෂණිකව ලිංගිකව උද්දීපනය නොවන අතර බොහෝ විට ස්පර්ශය , පරිසර උෂ්ණත්වය , ආරක්ෂාකාරී වටපිටාව , මානසික තත්ත්ව ආදී බොහෝ කරුණු මේ සඳහා බලපායි. ඇතැම් විට ඔබ නොදන්නවා වුවද ඇතැම් කාන්තාවන් සමහර ආදර නවකතා හෝ වෙනත් රූපමය නොවන මාධ්‍ය හරහා පරිකල්පනය මත හැඟීම් ඇතිකරගෙන සුරාන්තයට පත්වන අවස්ථාද අසන්නට දක්නට ලැබේ.

මෙම සුරාන්තය ඉතාමත් ප්‍රීතිමත් අත්දැකීමක් වන බව මම අත්දැකීමෙන්ම දනිමි. නමුත් ලංකාවේ බොහෝ කාන්තාවන් (විශේෂයෙන් විවාහක) කිසිදු අයුරකින් සුරාන්තයක් නොලබන බව ප්‍රසිද්ධ රහසකි. බොහෝ පවුල් සංස්ථා අවුලෙන් වියවුලට පත් වීමට තවත් ප්‍රධානතම කාරණාවක් නම් ගැහැණියකගේ මේ නොසන්සිඳෙන කාම ගින්නට කිසිඳු අයුරකින් හෝ සංතර්පනයේ පොද වැස්සක් වත් නොවැටීමයි. එහෙත් යම් යෙහෙකින් වෙනත් පිරිමියකුගේ පහසින් සුරාන්තයක් ලද හොත් ......... පවුල් සංස්ථාවේ සියලු අත්තිවාරම් බිඳී වැටෙනු ඇත.

කෙසේ වෙතත් අද සමාජයේ කාන්තාවන් සෑම විටම බොහෝ පීඩනයෙන් සිටින අතර තමා ගැනම අවතක්සේරුවෙන් සිටීම දක්නට ලැබේ. තමාගේ නොදකින ලස්සනක් එකතු කරගැනීමට විවිධ අලංකරණ යන් , ලිංගිකත්වය උද්දීපනය වන ඇඳුම් ආයිත්තම් හා විලාසිතා , දහස් ගණනින් වියදම් කරමින් රූ අලංකරණ ආයතන මගින් අනැවශ්‍ය රූපලාවන්‍ය කටයුතු , මැදිවියේ කාන්තාවක් නම් පියයුරු ඉස්සීමේ සැත්කම්, පියයුරු කුඩා නම් විශාල කරගැනීමේ සැත්කම් ආදී කී නොකී බොහෝ දෑ සිදු කරති. එහෙත් ඇත්තෙන්ම තමාට මෙයින් ආත්ම විශ්වාසය ඇතිවනවා යැයි සිතුවත් ඇත්තේන්ම ආත්ම විශ්වාසය බිඳ වැටීමක් සිදුවේ. මක්නිසාද පිටින් ඇති ඔපය ගැන පමණක් ඔබ විශ්වාසය තබා ඇති බැවිනි. නමුත් සත්‍ය වශයෙන්ම සිදුවිය යුත්තේ තමා තමා ගැනම දැඩි ආත්ම විශ්වාසයක් තබා ගැනීමයි. බාහිර අබරණ මගින් ඇත්තෙන්ම ලස්සන උදෘත කර දැක්වීමක් පමණක් කළ හැකි බව තරයේ විශ්වාස කළ යුතුය.

කාන්තාව වෙසෙසින්ම තමාට ආදරය කළ යුතුය. තම කයට , තම සිතට , තම සිතුවිලි වලට ආදරය කළ යුතුය. මෙහිදී හැඟීම් සඳහා විශේෂ තැනක් ලබා දිය යුතුය. එවිට තමාගේ කය නිරෝගීව තබා ගැනීමට නිසි ව්‍යායාම කළ යුතුය. නිවැරදි ආහාර රටාවන් පුරුදු පුහුණු විය යුතුය. මනස එක්තැන් කිරීමට සුදුසු මානසික ව්‍යායාමයක් , භාවනාවක් කිරීම වැදගත් වේ. ආගම දහමට නැඹුරු වීමද තවත් තමාගේ මානසික සෞඛ්‍යයට වඩාත් වැදගත් වේ.

මොහොතක් සිතන්න. ඔබ ඔබටම ආදරය නොකළහොත් තව කෙනෙකුට ඔබ ආදරය කරන්නේ කෙසේද? වෙන කෙනෙකුගේ ආදරයක් ලබා ගන්නේ කෙසේද? තමාට ලැබෙන ආදරයේ වටිනාකම දැනගන්නේ කෙසේද? බාහිර ඔපයට කැමති කාන්තාවන් හට නිතරම ලැබෙනුයේ ඔවුනගේ බාහිර ඔපයට කැමති පිරිමින් වේ. ඔවුන් කැමති ඔබ ළඟ දැවටීමටය . ළඟ තබා ගැනීමට නොවේ. මෛථුන්‍යයට මිස ආදරය කිරීමට නොවේ. නමුත් සරල තමාටම ආදරය කරන කාන්තාවක් හට පිරිමින් බොහෝ ගෞරව දෙති. ආදරය කිරීමට මිස ශෘංගාරයට ඉඩක් එහිදී නොලැබේ. මෙය සත්‍යය නොවේ දැයි ඔබ ඔබෙන්ම විමසා බලන්න.

කාන්තාවක් වීම ම මගින් ඔබට ලැබෙන වාසි අපමණකි. නමුත් කාන්තාවකගේ රාමුව මෙයැමම කියා තමාටම අතිශය ලෙස තහංචි පැනැවීම ඇත්තෙන්ම අවාසියකි. කාන්තාවක් නම් ඇත්තෙන්ම ලිංගික අධ්‍යාපනය ලබා තිබිය යුතුමය. කෙසේ වෙතත් නැවතත් සුරාන්තයෙහි ඇතුළු පැත්ත වෙත හැරෙමු. තමා වෙත ම ආදරය කරන ගැහැණිය තමාගේ සුරාන්තය කුමක්දැයි විශේෂයෙන් හැදෑරීමක් කළ යුතුය. මෙය තමාගේ කුමරි බඹසර සඳහා කිසිදු අයුරකින් හානියක් නොවන බව මා පෙර ලිපි වලින්ම සඳහන් කර ඇත්තෙමි. තමාගේ සුරාන්තය ගැන නොදන්නා ගැහැණිය වෙනත් අයකුගෙන් තමාට සුරාන්තයක් ලැබීම අපේක්ෂාව ඉතාමත් ආත්මාර්ථකාමී බව මාගේ හැඟීමයි.

භගමනිය (Clitoris ) මගින් සුරාන්තයක් ලබා ගත හැක. නමුත් මෙහිදී සැලකිලිමත් විය යුතු විශේෂ කාරණාවක් තිබේ. භගමනිය වෙත මඳ පීඩනයක් ලබා දීම මගින් ඉහළ ආස්වාදයකුත් , රළු දැඩි පීඩනයක් මගින් නීරස වේදනාවකුත් ලැබීමේ හැකියාවක් පවතී. නමුත් සුරාන්තයේ උපරිම ආස්වාදය විඳිය හැක්කේ යෝනි මාර්ගික උත්තේජනයකින් පමණක් බව මාගේ අත්දැකීමයි.මෙය කුමරි බඹසර හැසිරෙන්නියන් හට කළ නොහැකි අතර විවාහකයන්ට අත්‍යවශ්‍යයෙන්ම දැනගත යුතු කරුණකි.

G-spot හෙවත් ජී තිත යනු යෝනි මාර්ගයේ උඩු බිත්තියේ (ශ්‍රෝණි අස්ථී වලට මුහුණ ලා) ඇති අතිශයින්ම පීඩනයට සංවේදී ස්නායු අන්ත ඇති ස්ථානයකි. මාගේ පෙර ලිපි වල මේ පිළිබඳව සඳහන් කර ඇත. (දිය විදුම පිළිබඳ ලිපිය). මෙම ස්ථානය නිසි ලෙස උත්තේජනයෙන් කිසිදු අයුරකින් සම කළ  නොහැකි සරාගික ඉහළ උත්තේජනයක් ලබා ගත හැක.

නමුත් දැනගත යුතු කරුණක් නම් කාන්තාවන්ට දිගින් දිගටම සුරාන්තයට ළඟාවීමේ ඇති හැකියාවයි. පිරිමින්ට මෙන් නොව කාන්තාවන්ට තම දැවෙන ගින්න සන්තර්පණය කරගැනීමට ස්වභාව ධර්මය විශේෂයෙන් නිර්මාණය කරන ලද විශිෂ්ට දෙයකි. එහෙත් අද මා ඔබට පැවසීමට යන විශේෂ කරුණ නම් මෙම සුරාන්තය ඔබ දැනටත් වඩා ඉහළ මට්ටමකට ගෙන ඒමට අවශ්‍ය ව්‍යායාම කිහිපයකි.

අප මුත්‍රා පිටකරන විට මුත්‍ර පාලනය කරන මාංශ පේශී කිහිපයක් පවතී. මෙය Pubococcygeus පේශි ලෙස හඳුන්වයි. කෙටියෙන් මෙය P.Cහෙවත් PC ලෙසද කෙටියෙන් හඳුන්වයි. මෙම පේශිය පාලනය කිරීමට ඉගෙන ගැනීම මගින් ඉහළ වාසි අත්කරගැනීමට හැකි බව මා දනිමි. මමත් මාගේ බිරිඳත් මෙවැනි අත්හදා බැලීම් මගින් ඉහළ සන්තෘෂ්ටියක් ලබාගෙන ඇති අතර අපගේ ආදරය සහ ලෙන්ගතු කම වෙනදාටත් වැඩියෙන් දළු ළා වැඩෙමින් පවතී.

 PC පේශිය හඳුනා ගැනීමට හොඳම ක්‍රමය නම් මුත්‍ර පහ කරන වෙලාවට මදක් නැවතීමට උත්සහ කිරීමයි. මුලදී මෙය ඉතාම අපහසු විය හැක. මගේ මතකය හැටියට මාගේ බිරිඳ මෙය උත්සහ කළ පළමු වතාවේදී ඇස් වලින් කඳුළු වැටුන සැටි අද මෙන් මතකයේ ඇත. නමුත් ක්‍රමයෙන් මෙය උත්සහ කිරීමේදී  PC පේශිය වඩාත් හදුනා ගැනීමට සහ එය තද කිරීම සහ ඉහිල් කිරීම කළ හැක. සංසර්ගයේදී මෙම පේශිය තද කිරීමට උත්සහ කිරීමෙන් ඔබේ සහකරුවාට මෙන්ම ඔබටද වඩා හොඳ උත්තේජනයක් මෙන්ම සතුටක් ලැබෙනු ඇත.

ඔබට සුභ දවසක් ! යහ දිවියක් ලැබේවා! 

Jul 9, 2013

දරුවකු පිළිසිඳ ගැනීමට ශුක්‍රාණු ප්‍රමාණය වැඩිකරගනිමු - Increase your Sperm count in each Ejaculation

Increase your chance of become a father by increasing Sperm Count -   දරුවකු පිළිසිඳ ගැනීමට ශුක්‍රාණු ප්‍රමාණය වැඩිකරගනිමු. 



ඔබ දන්නා පරිදිම පිරිමියකු සහ කාන්තාවක ලිංගිකව එකතු වීමෙන් අනැතුරුව ශුක්‍රාණුවක් සහ ඩිම්බයක් සංසේචනය වීමෙන් කළලයක් ඇති වේ. මෙහිදී යම් කිසි හේතුවකින් එක් සාධකයක් මග හැරුණ හොත් කළලයක් හටගැනීම සිදු නොවේ. පිරිමියකු වරකට පිට කරනා වූ ශුක්‍ර කරලය මිලි ලීටර 5ක් පමණ වේ . මෙහිදී ශුක්‍රාණු මිලි ලීටරයට මිලියන 20ක්  හෝ එයටත් වැඩි නම් එය සංසේචනය වීමට ප්‍රමාණවත් බව පිළිගත් මතයයි. මෙම මිලියන 20න් සියයට 4ක් පමණ අහඹු චලිත සහිත ශුක්‍රයන් පවතී. ඒවා හට ඩිම්බයක් දක්වා ගමන් කිරීමට හැකියාවක් නැති අතර අනික් 96% ම ඉදිරියට පිහිනා යාමේ සම්භාවිතාවක් පවතියි.

එහෙත් බොහෝ විට අපගේම වැරදි පුරුදු නිසා අපගේ දරු ඵල සම්භාවිතාව ඉතාමත් දරුණු ලෙස පහත වැටීම දක්නට හැකිය. මේ ඒවායින් කිහිපයකි.

  1. මත්පැන් , මත්ද්‍රව්‍ය , සිගරට් භාවිතය.

    • මත්පැන් මත්ද්‍රව්‍ය සහ සිගරට් ඔබේ සාමාන්‍ය සෞඛ්‍යයට හොඳ නැතිවා මෙන්ම ඔබේ අක්මාවටද බලපෑම් කරයි. මෙවිට අක්මාව මගින් ඊස්ට්‍රජන් නිකුත් කරයි. ශ්‍රක්‍රාණු සෑදීමට රුධිරයේ ටෙස්ටස්ටරෝන් ප්‍රතිශතය ඉහළ අගයක පැවතිය යුතු අතරඊස්ට්‍රජන් සාන්ද්‍රණය ඉහළ යාම මගින් ශුක්‍රාණ්‍ර නිපදවීම අඩපණ වේ.
  2. තද පැහැති යට ඇඳුම් , කෘත්‍රිම අමුද්‍රව්‍ය යෙදූ යට ඇඳුම් සහ තද යට ඇඳුම් භාවිතය.

    • තද පැහැයැති යට ඇඳුම් මගින් බොහෝ දුරට තාප විකිරණ සිරුරට උරා ගනියි. මෙවිට යට ඇඳුම් ආශ්‍රිතව ඇති ප්‍රධානම අවයවය වනුයේ වෘෂණ කෝෂ වේ. මෙම වෘෂණ කෝෂ වල අභ්‍යන්තර උෂ්ණත්වය සෙල්සියස් අංශක එකකින් (1 C) ඉහළ ගිය හොත් ශ්‍රක්‍රාණු සෑදීම අඩපණ කරනවා මෙන්ම නිරෝගී සෛලයන් නිපදවීමටද බාධා එල්ල කරයි.
    • තවද හිරට යට ඇඳුම් ඇඳීම විලාසිතාවක් සේ පෙනුනද මෙම විලාසිතා මගින් වෘෂණ කෝෂ වල ස්වභාවික අවලම්බන චලිතය සීමා කරයි. උක්ත කී අවලම්බන චලිතය බොහෝ විට උෂ්ණත්වය යාමනය කරන බැවින් ශ්‍රක්‍රාණු සෑදීම අඩපණ කරනවා මෙන්ම නිරෝගී සෛලයන් නිපදවීමටද බාධා එල්ල කරයි.
  3. ජංගම දුරකතන සහ ලැප්ටොප් පරිගණක බොහෝ වෙලා කළවා හෝ ශ්‍රෝණිය ආශ්‍රිතව තබා ගැනීම.

    • ජංගම දුරකතන මෙන්ම ලැප්ටොප් පරිගණකද තාපය පිට කරන මෙවලම් වේ. මේවා වෘෂණ කෝෂ අසල තබා තිබීමෙන් එහි උෂ්ණත්වය ඉහළ යාමෙන් ශ්‍රක්‍රාණු සෑදීම අඩපණ කරනවා මෙන්ම නිරෝගී සෛලයන් නිපදවීමටද බාධා එල්ල කරයි.
  4. වෛද්‍ය පරීක්ෂණ වලදී ආරක්ෂිත උපකරණ නොපැළඳීම.

    • බොහෝ විකිරණ සම්බන්ධ වෛද්‍ය පරීක්ෂණ වලදී , එම තාක්ෂණ ශිල්පීන් පරීක්ෂණයට බදුන් වන අයට ආරක්ෂිත උපකරණ ලබා නොදෙන අතර , එවන් උපකරණ ඉල්ලා සිටීමට ඔබට අයිතියක් ඇත. විකිරණ යම් සාන්ද්‍රණයක් වෘෂණ කෝෂ ගත වීම ශුක්‍රාණු වල ඩී.එන්.ඒ වින්‍යාසය විකෘත කිරීමට සමත් වන අතර මෙමගින් විකෘත දරු උපත් මෙන්ම දරු පල නැති වීමේ අධික සම්භාවිතාවක් පවතියි
  5. ව්‍යායාම මඳ වීම සහ තරබාරු බව.

    • ව්‍යායාම මඳ බව සහ තරබාරු බව නිසා අයකුගේ ශුක්‍රාණු ප්‍රතිශතය අනෙක් අයට වඩා 25% කින් පමණ අඩුවිය හැකි බව නවතම පරීක්ෂණ වලින් සොයාගෙන ඇත.
  6. සුඛෝපබෝගී ආහාර අනුභවය.

    • අධික තෙල් සහ පිෂ්ඨය සහිත ආහාර ගැනීමෙන් ශරීරයේ තරබාරු ගතිය වැඩිවනවා මෙන් ශ්‍රක්‍රාණු සෑදීම අඩපණ කරනවා මෙන්ම නිරෝගී සෛලයන් නිපදවීමටද බාධා එල්ල කරයි.
දැන් අපි ඉහත කී කරුණු වලින් වැළකීමත් සමගම නිරෝගී ශුක්‍ර ප්‍රමාණය වැඩි කරගන්නා ආකාරය විමසා බලමු.

  1. හැකි තරම් ස්වභාවික ආහාර හා එළවළු , පළතුරු ආහාරයට ගැනීම

    • ස්වභාවික එළවළු , පළතුරු මෙන්ම නිවුඩු සහිත ආහාර මගින් නිසි පෝෂණය ලැබෙනවා මෙන්ම ශ්‍රක්‍රාණු සෑදීම නිසි අයුරින් සිදු කිරීමට උපකාරී වේ.
    • සමහර ධාන්‍ය වර්ග වල සින්ක් ලෝහ සංඝටක යහමින් ඇති අතර , සින්ක් නිරෝගී ශ්‍රක්‍රාණු සෑදීම නිසි අයුරින් සිදු කිරීමට උපකාරී වේ.
  2. නිසි නින්ද

    • නිසි නින්ද මිනිසාගේ පරිවෘත්තීය ක්‍රියාවන් යාමනය කිරීමටත් , ශරීරය ප්‍රකෘතිමත් කිරීමටත් , ශරීර හා මානසික ආතතිය අඩු කිරීමටත් උපකාරී වේ. රාත්‍රී නිසි නින්ද අතරතුර නිරෝගී ශුක්‍ර විශාල ප්‍රමාණයක් නිපදවන බව පරීක්ෂණ වලින් සනාථ වී ඇත. 
  3. මානසික ආතතිය අඩු බව

    • මානසික ආතතිව කෝටිසෝල් නම් හෝමෝනය නිපදවන අතර මෙය ශුක්‍ර නිපදවීම අඩාල කිරීමට වක්‍ර වශයෙන් දායක වේ.
  4. දරුවකු බලාපොරොත්තු වන කාලයේදි ස්වයංවින්දනය අවම කිරීම

    • දරුවකු පිළිබඳ සුබ ප්‍රාර්ථනා දල්වාගෙන සිටීම මගින්ම පමණක් පිරිමියකුගේ ශරීර ටෙස්ටස්ටරෝන් ප්‍රමාණය ඉහළ යයි. මෙම හෝර්මෝනය ශුක්‍ර නිපදවීමට ඍජුවම දායක වේ.
    • ස්වයං වින්දනය අවම කිරීම මගින් වරකට පිටකරන තරලයෙහි අධික ශුක්‍ර සාන්ද්‍රණයක් පවත්වා ගත හැක.
  5. දිනපතා ව්‍යායාම සහ සිරුරේ බර පාලනය.

    • දිනපතා ව්‍යායාම සහ බර පාලනය සම්පුර්ණ ශරීර සෞඛ්‍යයට හිතකර වනවා මෙන්ම නිරෝගී ශුක්‍රාණු නිපදවීමටද දායක වේ.
    • මතක තබාගන්න ව්‍යායාම කිරීමේදි සහ ක්‍රීඩා කිරීමේදි මදක් තද යට ඇදුම් මෙන්ම කෝෂ ආරක්ෂා වන ආරක්ෂක උපකරණ පැළඳීමද වැදගත්ය. මක් නිසාද කොෂයන්ට පහරක් වැදීම මගින් ශුක්‍රාණු මෙන්ම කෝෂයද විනාශ විය හැකි බැවිනි.
ඔබට යහ දිවියක් පතමි!

Jun 27, 2013

ඉක්මන් කේන්තිය

අද මා පළකරනුයේ මාගේ පරිකල්පනයක් නොවන අතර එය මා විසින් අසන ලද කතාවකි.

එක්තරා තරුණයකු හට දැඩි ලෙස ඉක්මන් කේන්ති යාමේ පුරුද්දක් තිබුණි. මෙනිසා පවුලේ බොහෝ දෙනෙකුගේ සිත් රිදවීම් , කලකිරීම් , මෙන්ම ශාරීරික පීඩා ද ඇති විය. මෙය පවුලේ ජීවත් වන සහ නිවස තුළ ඇති අජීවි භාණ්ඩ වලට ද එකසේම විය. පවුලේ ප්‍රධානී පියාණන් හට ඔහුගේ වැටුප යම් අවස්ථා වලදී මදි වූයේ , තරුණයා කේන්ති ගිය විට කුඩු පට්ටම් කරන සියල්ල නැවතත් මිළට ගැනීමට සිදුවීම නිසාය.

තරුණයා මදක් මුහුකුරා යත්ම ඔහුට තමාගේ මේ කේන්තිය ඇත්තටම තමාට මෙන්ම තමාගේ ආදරණීයන්ටද මහත් ලෙස රිදවන බව පසක් වී , තම පියාණන් හමුවේ මෙසේ පැවසීය.

“තාත්තේ , මම දන්නව මට ගොඩක් කේන්ති යනව. මට වෙලාවකටම මේ නිසා මං ගැනම තරහයි! මට මේ තරහ නැති කරගන්න ඕන. මට හොඳ කෙනෙක් වෙන්න ඕනි. තාත්ත මට උදව් කරනව නේද?“

තරුණයාගේ පියා ඔහුට සාවධානව කන් දී , මදක් කල්පනා කොට මෙසේ පිළිතුරු දුන්නේය.

“හරි ! මට තේරෙනවා. මගෙ පුතාට දැන් වරද වැටහෙන බව. මම බය වුනේ මගෙ පුතාට මේක තේරෙන්නේ නැති වෙයි කියල. පුතේ ඔයා මම කියන දේ කරන්න ලෑස්තිද? හැබැයි මේක ටිකක් අමාරුයි“

තම පියාගේ සන්සුන් පිළිතුරෙන් විස්මයට පත් තරුණයා ....
“කියන්න තාත්තෙ ඕන දෙයක් . මම පොරොන්දු වෙනව මම කොහොම හරි ඒක කරන බව...“

“හොඳ පුතා! දැන් මට වඩු මඩුවකට ගිහින් අඩි 2*2 හොඳට මැදපු ලෑල්ලක් අරගෙන එන්න. එනකොට කඩෙන් අඟලේ ඇණ කිලෝවකුත් අරගෙන එන්න“

විස්මයෙන් විස්මයට පත් තරුණයා ,තම පියාණන්ගේ සැලසුම කුමක්දැයි දැනගැනීමේ කුතුහලයෙන් වහාම තම පා පැදිය ගෙන වඩු මඩුවකට ගොස් අදාළ ලෑල්ලද , ඇණ ද රැගෙන එන ලදී. තරුණයා ගෙන ආ ලෑල්ල පියා විසින් තරුණයාගේ කාමරයෙහි එල්ලා තරුණයා අතට මිටිය ලබා දුන්නේය.

“පුතා! මෙන්න මේකයි කොන්දේසිය. මීට පස්සේ පුතාට කේන්ති යන හැම වේලාවකම , කාටවත් හිරිහැරයක් බැනුමක් නොකර මේ ලෑල්ලෙ එක ඇණයක් ගහන්න ඕනා! හැබැයි පුතා කාට හරි බැන්නොත් බණින පාරක් ගානෙත් ඇණය බැගින් ගහන්න ඕනා! අද ඉඳන් ගෙදර අය ඔයාට මුකුත් කියන එකක් නැහැ. එයාලා ඔයා වෙනුවෙන් මේ ටික කාලය ඉවසාවි. හැබැයි පුතා මේ ලෑල්ලෙ ඇණ ගහන්න ඉඩ නැති වෙන කොට මට කියන්න ඕනා! පුතාට පුලුවනිද මේ දේ කරන්න?“

මේ මොන විකාරයක් දැයි  සිතූ තරුණයා , කෙසේ වුවත් තමා පොරොන්දුවක් වූ බව පසක් වී මෙයට කැමැත්ත පළ කළේය. දැන් තරුණා තමා හට කේන්තියක් ආ ක්ෂණයෙන් මුවින් නොබැන සන්සුන් වී ලෑල්ලට ඇණය බැගින් ගසයි.මසක පමණ ඇවෑමෙන් බලාපොරොත්තු සුන් වූ ආකාරයෙන් හිස පහතට නවාගෙන පියා අසළට පැමිණි තරුණයා ඇණ වලින් පිරුණු ලෑල්ල පියා වෙත දිගු කළේය.

“තාත්තේ! මාසයක් යන්නත් කලින් ම මේ ලෑල්ල ඇණ වලින් පිරුණ. දැන් මම මොකක්ද කරන්න ඕනි! මට ගොඩක් කේන්ති යනව නේද තාත්තේ?  “

තම පුතුගේ මානසිකත්වය තේරුම් ගත් පියා , පුතුගේ උරහිසට අතතබා බිමට නැමුණු පුතුගේ හිස අනික් අතින් එසැවීය.

“හරි මගෙ පුතේ! මම ඒක දන්නව! දැන් මගෙ පුතා උත්සහ ගන්න කේන්ති නොගෙන ඉන්න. කේන්ති ගියත් ඉක්මනට කේන්තිය නිවා ගන්න. එහෙම කරන්න පුලුවන් වුන හැම වෙලාවකම මේ ලෑල්ලෙන් එක ඇණය ගානේ ගලවන්න! මම හිතනව මගෙ පුතාට ඉක්මනටම ලෑල්ලේ තියෙන ඇණ ගලවන්න පුලුවන් වෙයි කියල.“

පියාණන්ගේ වදනින් අමුතු ජීවයක් ලද තරුණයා , නැවත ලෑල්ල කාමරයෙහි එල්ලා තම කේන්තිය පාලනය කිරීමට අදිටන් කරගන්නා ලදී. සිවු මසක් පමණ ඇවෑමෙන් තරුණයා මහත් උද්දාමයෙන් තම පියාණන් වෙත කිසිදු ඇණයක් රහිත ලෑල්ල ඉදිරිපත් කරන ලදී.

සිය දෙනෙත් වලින් කඳුළු පිස දමමින් තමා සිටි අසුනෙන් නැගිටි පියාණෝ තම පුතුගේ හිස ආදරයෙන් සිම්බේය.
“මගේ පුතා! මට අද ගොඩක් ආඩම්බරයි! මගෙ පුතා ගොඩක් හොද කෙනෙක් වෙලා..“

“ඔව් තාත්තේ! මට දැන් කේන්ති යන්නේම නැති තරම්. මට දැන් ගොඩක් හොඳට පාඩම් කරන්නත් පුලුවන්! මට දැන් ගොඩක් යාළුවොත් ඉන්නව!“

“පුතා ! මම මේ කරපු දෙයින් පුතාට වැටහිච්චි දෙයක් තියෙනවද? “

“ඔව් තාත්තේ ! මට තේරුණ මට කොච්චර කේන්ති යනවද කියල..“

“නෑ පුතා! මේකෙ එයිට වඩා ගැඹුරු දෙයක් තියෙනව.............“

ඔයා ගෙනාපු මැදපු ලෑල්ල හරියට මිනිහෙක්ගෙ හිතක් වගේ! ඔයාගෙ බැනුම් ඇණ වගේ වැදිල ඒක තුවාල වෙනව. ගියපු වචනයක් ආයෙත් හරවන්න බැහැනේ පුතා! ඔයා ඒක තේරුම් අරගෙන කොහොම හොඳ කළත් ඒ හිත ඇණ ගැලවුණු ලෑල්ල වගේ. ගොඩක් තුවාල වෙලා! එහෙම හිතක් හැදෙන්න ගොඩක් කල් යනව...........
© යථාර්ථවාදියා

Jun 24, 2013

නිවැරදි උපත් පාලන කොපු භාවිතය . How to use male condoms correctly.

ආයුබෝවන්! අද දවස ඔබට කෙසේද?

අද මා කතා කිරීමට යන්නේ මිනිසාගේ ප්‍රජනන සෞඛ්‍යයේ ඉතාම වැදගත් උපකරණයක් / මෙවලමක් වන කොන්ඩමය හෙවත් උපත් පාලන කොපු පිළිබඳවයි.

උපත් පාලන කොපු වල ප්‍රධාන වශයෙන් ප්‍රතිලාභ දෙකක් ඇත.
  1. ලිංගිකව සම්ප්‍රේශනය වන බොහෝ රෝග වලින් වැළැකීම.
    • ලිංගික ඉන්නන් ( Gentile Warts) වැළැදීමේ අධික ප්‍රවණතාවයක් ඇත.
  2. අනැවශ්‍ය ගැබ් ගැනීම් නැවතීම.
කොන්ඩමය නිවැරදිව පළඳන අයුරු පහත වීඩියෝ වෙන් පැහැදිලි අදහසක් ගත හැක.
කොන්ඩමයක් නිවැරදිව භාවිත කිරීමේදි පහත දක්වන ක්‍රියාවන් අනුගමනය කළ යුතුය.
  1. කොන්ඩමය නිසි අයුරින් ගබඩා කර තැබිය යුතුය.
    • සිසිල් වියලි ස්ථානයක ගබඩා කිරීම අත්‍යවශ්‍ය වේ.
      • උෂ්ණත්වය වැඩි වූ විට හෝ පරණ වූ විට පරණ බැලුම් වලට වන්නා වූ සිද්ධියම කොන්ඩම වලටත් සිදුවේ.
    • පසුම්බියක දමාගෙන යා යුතු නම් කලිසමේ පිටුපස සාක්කුවේ දමා ඉදගැනීම ආදිය නොකළ යුතු අතර අව් රශ්මිය වදින තැනක නොතැබිය යුතුය.
  2. කොන්ඩම් බහාලුමේ නිශ්පාදිත දිනය අලුත් දැයි සැක හැර දැනගත යුතු අතර කල් ඉකුත් වීමේ දිනය සඳහන් කොට ඇත්නම් කල් ඉකුත් වී ඇත්දැයි දැනගන්න.
  3. කොන්ඩම් බහාලුම් දත් වලින් හෝ තියුණු ආයුධ වලින් කැපීම හෝ විවෘත කිරීම නොකරන්න.
  4. කොන්ඩම් බහාලුමේ කොන්ඩමය ලිහිසිකරණය (Lubrication) කර ඇතැයි පවසා නැත්නම් ජල පාදක ලිහිසිකාරකයක් යොදා ගැනීම මැනවි.
  5. සෑම විටම කොපුව මනා ලෙස ප්‍රාණවත් වූ ශිෂ්නයකට පමණක් පළඳවන්න.
  6. පැළඳවීමට ප්‍රථම කොන්ඩමයේ මුල හොඳින් වාත රික්තයක් වන සේ අල්වා ශිෂ්නයේ හිසට තබා පහළට රෝල් කරමින් අදින්න.
  7. ධාතු පහ වූ පසු  ලිඟුව ප්‍රාණවත්ව තිබියදීම කොපුවේ පාදමයෙන් අල්වා ඇද ගැටයක් ගසන්න.
  8. කිසි විටක එකම කොපුව දෙවරක් භාවිත කරන්න එපා.
  9. භාවිත කළ කොන්ඩම කිසි විටක වැසිකිළි පද්ධතියට එකතු කරන්න එපා!
  10. භාවිත කළ කොන්ඩ නිසි ලෙස වල දැමීම හෝ පුළුස්සා දැමීම කළ යුතුයි.

ඔබට යහ දිවියක්! සුභ අනාගතයක්!

Jun 5, 2013

පළමු ලිංගික එකතු වීම............

හිතවත් පාඨකය, මවිසින් මේ ලිපිය හුදෙක් පළ කරනුයේ බොහෝ දෙනෙකු මාගෙන් pataka.getalu@gmail.com  යන ඊ ලිපිනය හරහා අසා තිබූ සමාන‘යුරු ගැටලු කිහිපයක් සලකා බැලීමෙන් අනැතුරුවය.

විරුද්ධ ලිංගිකයන් දෙදෙනකු අතර ඇතිවන පළමු ලිංගික එක් වීම ඒ දෙදෙනාගේ දිවියේ වැදගත් සන්ධිස්ථානයක් වේ. මක්නිසාද එම මතකය , ඒ ආධ්‍යාත්මික හැඟීම සදාකල් මතකයේ පවතින තුරාත් , එම මතකය නැවත නැවතත් ආවර්ජනය කිරීමෙන් දෙදෙනා අතර තිබෙන ආදරය නැවතත් ඉස්මතු කරගත හැකි සුන්දර අත්දැකීමක් බැවිනි. මමත් මාගේ බිරිඳත් යම් දින වලදී මෙලෙස අපගේ පළමු එක්වීමේ අත්දැකීම් ආවර්ජනය කිරීමෙන් අපගේ ආදරයේ ගුණාත්මක බව වැඩි වන බවත් , මීළඟ එකතුවීම අපගේ දෙවන එකතු වීම හා සමාන අත්දැකීමක් ලෙස දැනෙන බවත් තේරුම් ගෙන සිටිමු.

කෙසේ වෙතත් පළමු එකතු වීම දෙදෙනාගේ අන්‍යෝන්‍ය අවබෝධය මත අමිහිරි / මිහිරි / ඉමිහිරි අත්දැකීමක් බවට පත් කර ගැනීමට පුළුවන. ඇත්තෙන්ම සමාජය විසින් විවාහ දිවියට එළැඹෙන යුවතියන් ගේ සිත්හි තැන්පත් කරන ඇතැම් මිත්‍යා මත මෙන්ම , පළමු ලිංගික එක් වීමේ දී ඇති වන වේදනාව පිළිබඳ අමිහිරි මතකයන් නිසා මෙම අතිශය සරාගී , අතිශය සුන්දර මොහොත ක්ෂණයකින් විනාශ වී යාමට පුළුවන.

පළමුව සඳහන් කළ යුත්තේ මෙලෙස පළමුව ලිංගිකව එක් වීමට පෙර දෙදෙනා සමග සුහද සාකච්ඡාවක් ගොඩනගා ගැනීමයි. මෙමගින් දෙදෙනාගේ සිත් හි ඇති දෑ දෙදෙනාටම අවබෝධ කරගත හැකිය. තවද කාමුක චිත්‍රපට වල ඇති දෑ කිරීමට උත්සහ නොකිරීමද වැදගත් වේ. මක් නිසාද යත් එහි බොහෝ දෑ උද්දීපනය කොට පෙන්වන බැවිනි. දෙදෙනා සමග සාකච්ඡාවෙන් අනතුරුව ලිහිල් වීමේ මෘදු සම්බාහනයක් දෙදෙනා විසින්ම කරගැනීම අගනේය. විශේෂයෙන්ම කාන්තාවට මෙම සම්බාහනය මගින් කායික මෙන්ම මානසික ලිහිල් වීමක් ඇති වනවා මෙන්ම සහකරු පිළිබඳව මනා විශ්වාසයක් ඇති වීමටද උපකාරී වේ. පසුව දෙදෙනා සමගම උණු දිය ස්නානයක් කිරීමද , එහිදී දෙදෙනාගේ සිරුරු වල ආලේපන , සුවඳ විලවුන් ගැල්වීම ආදී වූ ක්‍රියාකාරකම් මගින් අන්‍යෝන්‍ය විශ්වාසය , ගරුත්වය ගොඩ නැගීම සිදුවේ. පළමු එක්වීමට ලිහිසිකාරකයක් එකතු කරගැනීමද නුවණට හුරු ක්‍රියාවකි.  එමගින් කාන්තාවකට දැනිය හැකි වේදනාව බොහෝ දුරට සමනය කරගැනීමට හැකිය. මීළඟට තවත් භයානකම මිත්‍යා විශ්වාසයක් වන කන්‍යා පටලය බිඳීම බොහෝ දුරට පළමු ලිංගික එකතු වීම නිරස කිරීමට උපකාර වේ. මේ පිළිබඳව සහකාරිය සමග කතා බහ කොට දෙදෙනාගේ අන්‍යෝන්‍ය අවබෝධයෙන් ඉදිරි ක්‍රියාදාමය සැලසුම් කළ යුතුය.

මා යුවතියන් හට ලබා දෙන වැදගත්ම කරුණ නම් ඔබ හැකි තරම් ලිහිල් වන්න. මක් නිසාද ඔබ ලිහිල් නොවුන හොත් යෝනිය ආශ්‍රිතව ඇති සියලු මාංශපේශීන් තද වන අතර මෙය සංසර්ගයේ ඉමිහිරි අත්දැකීම , ඔබට සදාකල් අප්‍රසන්න අත්දැකීමක් වනු ඇත. ඔබට හැකි නම් භගමනිය උත්තේජනය කර සුරාන්තයට පත්වී එහි අත්දැකීම් විඳින්න. එවිට ඔබගේ සහකරුට ඔබට අවැසි අයුරින් ඔබව සුරාන්තයට ගෙන යාමට මග පෙන්වීමේ හැකියාවක් ඔබට පවතිනු ඇත.  ෴

ඔබට සුභ දවසක් ! යහ දිවියක් , දිගායු ලැබේවා !



May 8, 2013

කාන්තාවන්ගේ පියයුරු සහ ලිංගික කර්තව්‍යය

අද බොහෝ දෙනාගේ සිත් හි තැන්පත්ව ඇති මිත්‍යා විශ්වාසයක් වන පියයුරු ප්‍රමාණ සහ ලිංගික කර්තව්‍යය පිළිබද කතිකා කිරීමට සිතා ගතිමි.



බොහෝ දෙනා කාන්තාවකගේ පියයුරු විශාල නම් ඇය කාමුක යැයිද , කුඩා පියයුරු ඇත්තියන් කාමුක නැතැයිද යන දුර්මතයේ සිටිති. ඇත්තෙන්ම මෙය අප හට මාධ්‍යය විසින් පොවන ලද මිත්‍යා මතයක් ලෙස මා හට හුවා දැක්විය හැකිය. ඇත්තෙන්ම අසැබි දර්ශන වලද මේ සඳහා යොදා ගනුයේ මෙවැනිම විසල් පියයුරු සහිත කාන්තාවන් වීමද විශේෂයෙන් සඳහන් කළ යුත්තේ මෙම පොවන ලද මිත්‍යා මතය තවත් තහවුරු කිරීමටය. පහතින් මා කාන්තාවන්ගේ පියයුරු සඟල වල ප්‍රමාණ සහිත ඡායාරුවක් දක්වමි.


ඇත්තෙන්ම කාන්තාවකගේ පියයුරු වල ස්වභාවය මෙන්ම ඇයගේ ලිංගික විභවය (sex drive) ද තීරණය වනුයේ උපතේදීමය. ඇයගේ පියයුරු විසල් වුවද ඇයට ඇති ලිංගික විභවය අඩු විය හැකි අතර කුඩා පියයුරු සහිත ඇයට විසල්  ලිංගික විභවයක් තිබිය හැකිය.

එහෙත් වැදගත්ම කරුණ නම් පියයුරු වල විශාලත්වය කෙතෙක් වුවද පියයුරු සෑදී ඇති ව්‍යුහය සමානය යන්නයි. නියම ලෙස උත්තේජනය කළහොත් පියයුරේ ප්‍රමාණය කෙසේ වුවත් ඕනෑම කාන්තාවක් ලිංගිකව සක්‍රිය කරගත හැකිය යන්න මා අවධාරණය කළ යුතුය. කෙසේ වෙතත් ඔබ කාන්තාවක හෝ පුරුෂයකු නම් කාන්තාවකගේ සිරුරෙහි අවධානයෙන් බැලිය යුත්තේ ඉණ/උකුළ අනුපාතිකයයි. 


මෙය කාන්තාවකගේ 0.7 හා  0.8 අතර ඇත්නම් ඇයගේ ඊස්ට්‍රජන් ප්‍රමාණය හා දරුපල ඉහළ අගයක පවතින බව විද්‍යාත්මකව තහවුරු කර ඇත.



Apr 29, 2013

අභිසාරිකාව සහ කාමධේනුව


අභිසාරිකාව සහ කාමධේනුව යන වචනයන් හි අරුත් පැහැදිලි කිරීමේදී අප හට හෙළ බසින් මෙය අපැහැදිලි වුවත් ඉංග්‍රිසි බසින් ගත් කල්හි prostitute  සහ slut යන වදන් දෙක මගින් බොහෝ දන හට පැහැදිලි බව පසක් වේ. අබිසරුවන්, වෙසගන, වෛශ්‍යාව යනුවෙන් අභිසාරිකාවන් හදුන්වන අතර කම්දෙන, වල් ස්ත්‍රිය , අධම ගැහැනිය යනුවෙන් කාමධේනුවන් හදුන්වනු ලබයි .

සෑම සමාජයක් පුරාම උක්ත සදහන් කළ චරිත දෙක සුපැහැදිළිව දැක ගත හැක. බෞද්ධ සංස්කෘතිය තුළද මේ පුරගනන් පිළිබදව දක්වා ඇති තැනක් නම් , නන්ද කුමරු විවාපත් වීමට සිටි පුරගන සබැදි කතා වත වේ. මෙම වෙසගනන් සහ කම්දෙනුන් අතර ඇති ප්‍රධාන වෙනස නම් වෙසගනන් මුදල් , බලය හෝ යම් කිසි භාණ්ඩ හුවමාරුවක් සදහා ලිංගික ක්‍රියාවලියේ යෙදීමත් , කම්දෙනුන් තම නොසිදෙන කාමාශාව සංසිදුවා ගැනීම සදහා අයකු සමග  ලිංගික ක්‍රියාවලියේ යෙදීමත් වේ.

Apr 23, 2013

ස්වයං වින්දනයට හෝ මෛථුන්‍යයට ඇබ්බැහි වන්නේ ඇයි ?

 ෴ අද මා සාකච්ඡාවේ යෙදෙනුයේ අයෙකු ස්වයං වින්දනයට හෝ මෛථුන්‍යයට ඇබ්බැහි වීමට ඇති ප්‍රධාන කරුණු හා ඒවායේ ගුණාගුණ පිළිබඳවය.

 ඇත්තටම පිරිමි අයකු ස්වයං වින්දනයට හුරු වනුයේ ද්විතික ලිංගික ලක්ෂණ පහළ වන අවධියේදී ම ය. කාන්තාවක නම් මේ ආකාරයම හෝ තවත් කලක් ගතවනු ඇත. නමුත් කාන්තාවකට සමාජයීය සංස්කෘතිය මගින් මෙය ඉතාමත් පහත් ක්‍රියාවක් ලෙස අරුත් දක්වා ඇති බැවින් බොහෝ දෙනා මෙයට ඇබ්බැහි වීමක් හෝ අත්හදා බැලීමට බිය වෙති.


ඇත්තටම ස්වයංවින්දනය නරක ක්‍රියාවක්ද ? පිළිතුර නම් ඇත්තටම නැත.

නමුත් ලාංකේය සමාජයට පවතිනා  සංස්කෘතිය මගින් ඉමහත් පීඩනයක් උක්ත මාතෘකාව සබැඳිව එල්ල කොට ඇත. වඩාත් වැදගත් වනුයේ , මෙම සංස්කෘතිය අප වෙත පැමිණියේ කොහෙන්ද යන්නයි. මෙයට ප්‍රධාන වශයෙන්ම ඉන්දීය අබැස ලැබී ඇති බව පෙනී යයි. ඇත්තෙන්ම ඉන්දියාවේ මෙවැනි තහංචි තිබුණත් කම් සැප විදීමට ඉගැන්වූ ශාස්ත්‍රයක් තිබුණු බවට සාධක පවතී. අප සැමවිටම අසා ඇති  කාම සූත්‍ර යන්න ඉන්දියාවේ ඉමහත් පිළිගැනීමට ලක් වූ ශාස්ත්‍ර ග්‍රන්ථයකි. නමුත් ලංකාවේදී මේ පිළිබඳ සොයා බලන්නෝ හැරුණු විට අනෙකුත් හුදු ජනතාව ඇත්තෙන්ම ලිංගික ක්‍රියාව පිළිබදව පැහැදිළි දැනුමක් නැති බව දෛනික, සාතික , මාසික ව පළවන පත්තර සඟරා වල ඇති වෛද්‍ය ගැටළු පිරික්සීමේදී මොනවට පැහැදිළි වේ.

නැවතත් මාතෘකාවට පිවිසෙමු. ස්වයං වින්දනය හෝ මෛථුන්‍යය කෙරෙහි ඇබ්බැහි වීමට ප්‍රධානතම කරුණ නම් මෙහිදී අයෙක් වෙත ලැබෙන්නා වූ තාවකාලික වින්දනයයි. ඇත්තෙන්ම මෙහිදී එකී පුද්ගලයාට ලැබෙන්නා වූ මානසික මෙන්ම කායික සතුට නැවත නැවතත් ලැබීමට මනස හෝ කය විසින් එකී පුද්ගලයාට කෙරෙන බලපෑම ඇබ්බැහි වීමක් බවට පත්වේ. ඇත්තෙන්ම මේ සඳහා වග කිවයුත්තේ අපගේ සිරුරෙහි ඇති හෝමෝන වේ. ස්වයං වින්දනය හෝ මෛථුන්‍යයේදී ඇතිවන සුරාන්තයේදි , සිරුරෙහි  ‘ඩෝපමින් ‘ නම් හෝමෝනය රුධිර සංසරණ පද්ධතියට ශ්‍රාවය වේ. මෙය  ‘සතුටු ‘ හෝමෝනය ලෙස බොහෝ විද්‍යාඥයන් පවසති. හෙරොයින් , කොඩීන් , මොෆීන් වැනි ඖෂධ තුළින් ද ඩෝපමින් නම් හෝමෝනය ශ්‍රාවය කරයි. මෙමගින් උක්ත ඇබ්බැහි වීම ඇති කරන බව විද්‍යාඥ මතයයි.

නමුත් ස්වයං වින්දනය හෝ මෛථුන්‍යය අවධානම් ලේබලයක්  සමගම පැමිණේ. ඇබ්බැහි වීමෙන් පසු එය කෙසේ හෝ ලබා ගැනීමට මනස පෙළෙඹවීම් ඇති කරයි. එවිට ගණිකා ඇසුරට වැටීමට , පවුල් සංස්ථා බිඳවැටීමට , ලිංගිකව සම්ප්‍රේශනය වන රෝග වලට නිරාවරණය වීමට ඉඩකඩ ඇති අතර තත්වය උග්‍ර අවස්ථා වලදී බාහිර ද්‍රව්‍යයන් සිරුරට ඇතුළු කිරීමට උත්සහ කිරීම් සහ අවසානයේදී විෂාදය ආදී මානසික රෝග ආදිය වැළඳී සියදිවි හානි කරගැනීමද දක්නට හැකිය.

එබැවින් තමා ස්වයං වින්දනය හෝ මෛථුන්‍යයෙහි යෙදේ නම් පිරිසිදුව යහපත් මානසිකත්වයෙන් , වරදකාරී හැගීමෙන් තොරව සිදුකරන්නේ නම් අතිශය සුන්දර අත්දැකීමක් මෙන්ම යහපත් ලිංගික සෞඛ්‍යයක්ද ලබාගනු ඇත.

සුභ දවසක් ! යහ දිවියක් ලැබේවා!


Apr 16, 2013

ශිෂ්ණයේ ප්‍රමාණය වැදගත්ද ? Does Penis size matters?

ව්. ඇත්තටම ශිෂ්ණයේ ප්‍රමාණය වැදගත්. (ඔබ දැන් ඔබගේ ප්‍රමාණය සිතින් මැනගත් බව දනිමි.) නමුත් ඒ ඔබ සිතන ආකාරයට නොවේ. ඇත්තටම  ශිෂ්ණයේ අවශ්‍ය වනුයේ දිග නොව එහි වටප්‍රමාණයයි. හේතුව කාන්තාවකගේ යෝනි මාර්ගයේ සංවේදීම ස්ථාන පිහිටා ඇත්තේ යෝනි විවරයේ සිට අගල් 2 ත් 3ත් අතර වීමයි. මා පෙරදී ලියා ඇති ලිපි වල මෙන් ඇත්තටම අසැබි දසුන් වල සිටිනා පිරිමින්ගේ සුවිසල් ලිගු ඔබගේ ලිගුව හා සසදා බැලීමෙන් වලකින මෙන් කාරුණික ආයාචනයක් කිරීමට කැමැත්තෙමි.

    ඉහත සදහන් කළ අයුරු ශිෂ්ණයේ වටප්‍රමාණය වැඩිවන තරමට යෝනි මාර්ගයේ සිදුවිය හැකි ඝර්ෂණය ඉහළ අගයක් ගනී. එවිට පිරිමියාට මෙන්ම ගැහැණියටද වඩාත් වින්දනීය මෛථුන්‍යයක් ළගා කරගත හැකිය.
එහෙත් සලකා බැලිය යුතු කරුණක් නම් යෝනි මාර්ගයට කුඩා ශිෂ්ණයක සිට විසල් ශිෂ්ණයක් දක්වා එක සේ භාරගත හැකිය යන්නයි.

කෙසේ වෙතත් තම සහකාරිය පිනවීම හෝ උපරිමයෙන් සන්තෝෂයට පත්කිරීම හුදෙක්ම ආදරය, අන්‍යෝන්‍ය විශ්වාසය හා ගෞරවය පිළිබද කතිකාවතක් මිස තම පුරුෂ ලිගුවේ ප්‍රමාණය මත පදනම් වන දෙයක් නොවන බව අවධාරණය කර සිටිමි.


ඔබට සුභ දවසක් ! යහ දිවියක් , දිගායු ලැබේවා ! 

අනැවශ්‍ය ගැබ් ගැනීම් හා එයින් වැලකීම

මා අද කතිකාවක් තැනීමට සැරසෙන්නේ අතෝරක් නැතිව කතා වන්නා මෙන්ම , සමාජයේ ක්ෂණිකව පැතිර යන මිත්‍යා මත හා සම්බන්ධ වන අනවශ්‍ය ගැබ්ගැනීම්  සබැදිවයි.

ස්වභාවික ගැබ් ගැනීමක් සිදුවීමට නම් අනිවාර්යයෙන්ම මෛථුන්‍යයක් (ලිංගික එක්වීමක්) අවශ්‍ය වේ. ඉහත ලිංගික එක් වීමේදී ශුක්‍ර තරලය අනිවාර්යයෙන්ම යෝනි මාර්ගයේ තැන්පත් විය යුතුය. මෙසේ තැන්පත් වන ශුක්‍රාණු ඩිම්බයක් සමග එක් වීමට පහත සාධක අනිවාර්යයෙන්ම සපුරා තිබිය යුතුය.
  1. ගැහැණියගේ අවසාන ආර්ථවය සිදුවී දින 12ත් 16ත් අතර ලිංගිකව එක් විය යුතුය.( සැ.යු දින 28ක සාමාන්‍ය ආර්ථව චක්‍රයක් ඇති අයකුට)
  2. හොද සෞඛ්‍ය සම්පන්න ශුක්‍රාණු තිබිය යුතුය.
  3. උපත් පාලන ක්‍රම අනුගමනය නොකර තිබිය යුතුය.
එහෙත් ඉහත සදහන් කළ කරුණු වලින් වෙනස් වුවත් කලාතුරකින් ගැබ් ගැනීමක් සිදුවිය හැකිය.
  • ඇතැම් අවස්ථා වලදී මසකට ඩිම්බ දෙකක් දෙවතාවකට පිටවීමේ විරල අවස්ථා පවතී.
  • උපත් පාලන ක්‍රම අනුගමනයේදී සිදුවන අඩුපාඩුකම්.
  • ශුක්‍ර තරලය යෝනි මාර්ගයේ තැන්පත් නොවූවත් යෝනි විවරය අසල තැවරුණද  ගැබ් ගත් අවස්ථා විරලව දක්නට ලැබේ.
අනවශ්‍ය හෝ හදිසි ගැබ් ගැනීම් වීමට ප්‍රධානතම හේතුව නම් අනාරක්ෂිත ලිංගික එක්වීම් වේ. තවද විවාහ වූ යුවලක් නම් පවුල් සැලසුම් රහිත වීමද , සංවිධානාත්මක බව ගිලිහී යාමද හේතුලෙස දැක්විය හැකිය. කෙසේ වෙතත් ලිංගික එකතුවීමකදී හැගීම් වලට වඩා බුද්ධියට ඉඩ දී තමාගේ සියලු ක්‍රියාවන්ට වගකීම් දැරීමට හුරු විය යුතුය. මා එයින් පවසනුයේ ලිංගික ක්‍රියාවෙන් සතුටු නොවිය යුතු බව නොවේ. වගකීමකින් යුතුව , ප්‍රතිවිපාක ගැන දැනුවත්ව සිටීමෙන් ඉහත මා කී සතුට උපරිමයෙන් භුක්ති විදිය හැක.

අනවශ්‍ය හෝ හදිසි ගැබ් ගැනීම් වලක්වා ගැනීම

  • පළමුව හැකි තාක් අනවශ්‍ය  ලිංගික එකතුවීම් වලින් වැලකී සිටින්න.
  • සරල උපත් පාලන ක්‍රම අනුගමනය කරන්න.
    • කොන්ඩම 
    • උපත් පාලන පෙති 
    • නික්ෂෙපන හෝ වෙනත් ක්‍රම
තඹ T හැඩැති ලූපය

සම යට තැන්පත් කළ හැකි දිගු කාලීන  උපත් පාලන ක්‍රමය

ඩිපෝ ප්‍රොවේරා නික්ෂේපනය

    • හදිසි ගැබ්ගැනීම් වැලැක්වීමේ පෙති
      • පොස්ටිනෝර් 1 
        • හදිසි ලිංගික එකතු වීමකින් අනතුරුව පැය 72 ක් ඇතුළත ලබා ගත යුතු බොහෝ සාර්ථක ප්‍රතිපල ඇති , හදිසි ගැබ්ගැනීම් වැලැක්වීට පමණක් භාවිත කළ යුතු ඖෂධයකි.
      • පොස්ටිනෝර් 2 
        • හදිසි ලිංගික එකතු වීමකින් අනතුරුව පැය 72 ක් ඇතුළත ලබා ගත යුතු බොහෝ සාර්ථක ප්‍රතිපල ඇති , හදිසි ගැබ්ගැනීම් වැලැක්වීට පමණක් භාවිත කළ යුතු පෙති දෙකක් අඩංගු ඖෂධයකි.
මතක තබා ගත යුතු වැදගත්ම කාරණය නම් ඉහත දැක්වා ඇති නිශ්පාදන වලින් කොන්ඩම හැර අනෙකුත් සියලුම නිශ්පාදන ලිංගාශ්‍රිතව වැළදෙන රෝග වැළැක්වීමේ හැකියාවක් නොමැති බවයි. එබැවින් නිතරම ආරක්ෂිත  ලිංගික එකතුවීම් පමණක් සිදු කරන්න. විශ්වාසී එක් සහකරුවකු/සහකාරියක පමණක් ඇසුරු කරන්න.

Jan 19, 2013

Is female squirting a myth? ( කාන්තාවන් සුරාන්තයේදි දිය විදීම මායාවක්ද?)

ආයුබෝවන් ! අද දවස ඔබට කෙසේද ? ඔබ මාගේ අනෙකුත් බ්ලොග් පිටු කියවා ඇතැයි සිතමි. අද මා සාකච්ඡා කිරීමට යන්නේ බොහෝ වැදගත් කාරණාවකි. ඔබ බොහෝ දෙනකු කාන්තාවන්ගේ සුරාන්තය පිළිබද යම් කිසි දැනුමක් ඇතැයි සිතමි. එසේ නොමැති නම් මාගේ attitude-towards-sex යන පිටුව කියවා බලන්න.

කෙටියෙන් පැවසුවහොත් කාන්තාවක් සුරාන්තයට පත් වන ක්‍රම කිහිපයක් ඇත.
  • පියයුරු උත්තේජනය
  • භගමනිය උත්තේජනය
  • යෝනි මාර්ගික උත්තේජනය
මෙහිදී යෝනි මාර්ගික උත්තේජනය විශේෂ තැනක් ගනුයේ කාන්තාවකට ඇයට ලැබිය හැකි උපරිම තෘප්තිය මෙමගින් ලබා ගත හැකි වීමත් , විශේෂ සිදුවීමක් වන දිය විදීමේ සංසිද්ධියද ඇති විය හැකි බැවිනි. මෙය 1940 දී පමණ ග්‍රා‍ෆෙන්බ‘ග් නම් නාරි වෛද්‍ය විද්‍යාඥයකු විසින් සොයා ගන්නා ලද ජී ස්ථානය හෙවත් පාරමෞත්‍ර ග්‍රන්තයේ ක්‍රියාකාරිත්වය නිසා සිදුවන්නක් විය හැකි බවද බොහෝ දෙනා පවසති.

බොහෝ කාන්තාවන් තම ජීවිතයේදී සුරාන්තයට පත්වී ඇති නමුදු දිය විදුමක අත්දැකීම ලබාගෙන නොමැති බව සංඛ්‍යාත්මක දත්ත මගින් පෙන්වා දෙයි. නමුත් මේ අතරින් 5% පමණ කාන්තාවන් ප්‍රමාණයක් තම සහජ හැකියාව මත කිසිදු අත්දැකීමක් නැතිව තම පළමු ලිංගික ක්‍රියාවේදීම දිය විදුම සිදුවේ. මෙම දිය විදුම සිදුවනුයේ පුරුෂයාගේ ශුක්‍ර පිටවීමට හා අදාළවම සංසිද්ධියකි. පුරුෂයාගේද  ශුක්‍ර පිටවීම මෞත්‍ර මාර්ගයෙන් සිදුවන අතර කාන්තාවකගේද දිය විදුම ද මෞත්‍ර මාර්ගයෙන් සිදුවේ. කාන්තාවකගේ මෙම දියෙහි අන්තර්ගතය විශ්ලේෂනය කළ  විද්‍යාඥයන් එය පුරස්ථිති ග්‍රන්ථියේ ද්‍රවයන් හා සමාන බවක් පෙන්වන බවත් මෙහි කිසිසේත් ම මුත්‍ර අඩංගු නොවන බවත් සොයාගෙන ඇත.

මෙම  දිය විදුම සිදුවීමට ඇති ප්‍රධානම බාධාව නම් කාන්තාවගේ මානසික සහ කායික තත්වයයි. තමා සහ තම සහකරු පිළිබද මනා විශ්වාසයක් සහිතව සිටීම වැදගත් වන අතර තමා අතින් සිදු වන සියලු දෙයහි සම්පූර්ණ වගකීම හා ආකල්ප වලට අන්‍යෝන්‍ය විශ්වාසය සහිත නම් මේ දිය විදුම සිදුකිරීම අපහසු සංසිද්ධියක් නොවනු ඇත. තවත් වැදගත් කාරණාවක් නම් කාන්තාවන් සුරාන්තය සහ දිය විදුම සිදුවන විට දැනෙන ස්වභාවය බොහෝ දුරට මුත්‍ර පිටවන්නා සේ දැනීමයි. මෙම කාරණාව නිසාම සමහර කාන්තාවන් සුරාන්තයට ළගා වීමට පවා බයක් දක්වන බව මාගේ මතයයි. මෙම මානසික බාධාව ඉවත් කර දමා දිය විදුම ඔබගේ දිවියේ විශේෂ දවසක ඔබගේ සහකරුට ලබා දීමෙන් ඔබගේ ආදරය මෙන්ම ලිංගික ජීවිතයද නව මගකට යොමු කරගත හැකි වනු ඇත.

එබැවින් කාන්තාවන් සුරාන්තයේදි දිය විදීම මායාවක් නොවන බවත් බොහෝ දෙනාට මෙම සංසිද්ධීය ළගා කරගැනීම සදහා කාලය මෙන්ම පළපුරුද්ද සහ තවත් බාහිර කාරණා අවශ්‍ය  බවත් මෙයින් සදහන් කරනු කැමැත්තෙමි .

ඔබට සුභ දවසක් ! යහ දිවියක් , දිගායු ලැබේවා ! 

Jan 9, 2013

ලංකාවේ කෙල්ලන් හා කොල්ලන්ගේ දැනුම

මෙම ලිපිය හුදෙක්ම දැනුම සහ අධ්‍යාපනය සදහා වෙන් වන අතර පහත් මානසිකත්වය ඇති අය සන්තර්පනය කිරීම සදහා වෙන් වූවක් නොවන බව කරුණාවෙන් සලකන්න.

ලංකාවේ සමහර කොල්ලන් සිතා සිටින්නේ තමා , අහවල් කර්තව්‍යයේ කෙළ පැමිණි වුන් ලෙසයි. ඇත්තටම තත්වය එසේම දැයි අප සිතා බැලිය යුතු නොවේද?

ලංකාවේ මෙන්ම ලෝකයේ බොහෝ දරුවන් තම ද්විතික ලිංගික ලක්ෂණ පහළ කරනුයේ වයස අවුරුදු 12 ත් 15 ත් අතර වේ. එහෙත් මෙම කාලයට පළමුවෙන්ම පිරිමි ළමුන් තම ලිංගික අවයව පිළිබදව දැඩි උනන්දුවක් දක්වීම ස්වභාවික සිදුවීමකි. එයින් අනතුරුව මොවුහු ස්වයං වින්දනයට පුරුදු වෙති. ඇතැමෙක් මෙම ස්වයංවින්දනයට ඇබ්බැහි වන අතර ඇතැමෙක් මෙය කාලයකින් අනතුරුව අත් හැර දමති. තත්වය එසේ වුවත් මේ සියලු ම පුරුෂ පක්ෂය තමන්ගේ සුරාන්තය හා සුරාන්තයට ළගාවීම පිළිබදව අතිදක්ෂයෝ වෙති. එහෙත් මොවුන් කාන්තාවන් පිනවීම සහ ඔවුන්ගේ සුරාන්තය පිළිබදවද සිතන්නේ තමන්ගේ සුරාන්තය හා සමානව ම ය. ඒ මක් නිසාද යත් පිරිමි පාර්ශවය ඔවුන්ගේ සුරාන්තය ළගා කරගැනීම සදහා කළ යුත්තේ එකම ක්‍රියාවක් පමණකි. ( නොදන්නා අයෙක් වේ නම් දැනගැනීම පිණිස ලියමි. ලිගුව පිරිමැදීම පමණකි) . මෙය බොහෝ විට මිනිත්තු 03- 10 දක්වා කාලය අතරතුර ළගා කර ගැනීමට පිරිමියකුට හැකිය. ඔවුන් මෙසේ කෙටි කලකින් ම සුරාන්තයට පැමි‍‍ණෙන්නේ මන්දැයි කෙනෙකුට පැනයක් නැගිය හැක. ( මෙය කියවන .ඔබ පිරිමියෙකු නම් ඔබ දැනටමත් පිළිතුර දන්නවා ඇතැයි මම සිතමි. එහෙත් ඔබ කාන්තාවක් නම් , විවාහ වූ හෝ යම් කිසි අයුරකින් සුරාන්තය පිළිබද අත්දැකීමක් ඇති තැනැත්තියක් නම් මෙය කුතුහලයක් හා අමිල පැනයක් වනු ඇත.)

සත්‍ය වශයෙන් ම මෙය අප හට අපගේ පැරැන්නන්ගෙන් ලද උරුමයකි. බොහෝ විට මෙය බටහිර කාන්තාවන් හදුන්වනුයේ මිනිත්තු තුනේ අරුමය ( Three minute wonder)  ලෙසය. හේතුව බොහෝ පිරිමින් කෙතෙක් උත්සහ කළත් මිනිත්තු තුනකට වඩා කාලයක් ලිංගික ක්‍රියාවෙහි යෙදිය නොහැකි බැවිනි. මෙම තත්ත්වය සත්ත්ව ලෝකයේද පවතී . මක් නිසාද යත් අතීතයේදී වනයේදී බොහෝ අන්තරායන් තිබූ අතර දිගු කාලයක් සංසර්ගයේ යෙදීම ජීවිත අනතුරක් විය හැකි බැවිනුත් , සිය වර්ගයා බෝ කිරීමේ ස්වාභාවික වගකීම පුරුෂ පක්ෂය වෙත වූ නිසා හැකි අවම කලකින් තම බීජානු බොහෝ ගැබ් වල තැන්පත් කිරීමත් යන සාධක නිසාවෙනි.

එහෙත් මෙසේ සුළු කලක් තුළ පිරිමියකු සුරාන්තයට පත්වීම ස්වභාවික සංසිද්ධියක් වුවද , මානව සංස්කෘතිය මගින් 19 වන ශතවර්ෂය පමණ වන විට කාන්තාවන්ගේ සුරාන්තය පිළිබද ව බොහෝ සේ අවධානය හා ප්‍රමුඛත්වය ලබා දුනි . මේ අතරම ක්ෂණික මෝචනය යන යෙදුම ද කරලියට පැමිණියේය.
ක්ෂණික මෝචනය යනු පුරුෂයා හෝ ඔහුගේ සහකාරිය , ඔහු සුරාන්තයට පත්වීමට අදහස් කැරෙන වේලාවට වඩා අඩු කලකින් සුරාන්තයට පත් වීමයි. මෙය වෛද්‍ය විද්‍යාත්මක වශයෙන් රෝගයක් නොවන අතර පුරුෂයන් තම ලිංගික ජීවිතයේදී 50% ක් හෝ ඊට වඩා ක්ෂණික මෝචනයන් වී ඇති බව සංඛ්‍යාත්මක වාර්තා හා තොරතුරු පෙන්වා දෙයි. එහෙත් වර්තමාන සමාජය පිරිමියාගේ ලිංගික කර්තව්‍ය යෙහි කාර්ය සාධනය ඉතා ඉහළින් අපේක්ෂා කරයි. මෙය බොහෝ විට බටහිර මාධ්‍ය , මිථ්‍යා විශ්වාස , හා කටකතා නිසා සමාජය තුළ මුල් බැස ඇත. තත්වය මෙසේ වුවත් පිරිමෙන් වෙතින් අපේක්ෂා කරන්නා වූ උක්ත කාර්ය සාධනය බොහෝ විට පිරිමින් වෙත අනවශ්‍ය පීඩනයක් එල්ල කරයි. මෙම තත්වය මත බොහෝ විට ඇතැමුන් මානසිකව ඇද වැටීමටත් , ලස්සන පවුල් ජීවිත අකාලයේ කැඩී විසිරී යාමටත් ඉඩ ඇත. උදාහරණයක් ලෙස ගතහොත් හමුවීමේ සාදයකදී ඇතැම් පිරිමියකු තමන්ගේ ශිෂ්නයේ තරමත් , තමුන් මේ වන විට යහන් ගත වූ ගැහැනුන් ප්‍රමාණයත් , තමාගේ ප්‍රමාණය නිසා ගැහැණුන් සතුටටත් උන්මාදයට පත් වූ අයුරත් ගැන බොරු ගොතන විට තවකෙකු තමාට එවැන්නක් කළ නොහැකිය හා තමන්ගේ බිරිය එසේ සතුටට පත් වන්නේ නැතැයි සිතා මානසිකව ඇද වැටීමට පුළුවන.

තත්වය එසේ වුවද දිගු කාලයක් ලිංගික කටයුත්තේ යෙදීම සදහා බොහෝ වෛකල්පයන් ඇත.
  •  පළමු දේ පළමුව යන කියමනට අනුව , ඔබට හොද මානසික තත්වයක් තිබිය යුතුය . 
  • දෙවනුව ඔබගේ ශරීරය පිළිබද දැනුමක් (knowledge) හා හොද දැනීමක් ( sense ) තිබිය යුතුය . 
  • තෙවනුව ඔබ මෙතෙක් කලක් සිදු කළ එකම ලිංගික ඉරියව් නොමැතිව වෙනත් ලිංගික ඉරියව් තම සහකරු හෝ සහකාරිය සමග එකගතාවයකින් යුතුව අත්හදා බලා ඔබ දීර්ඝ කාලයක් කාර්යයෙහි ‍නිරත විය හැකි ඉරියව්ව තෝරා ගන්න.
  •  ඔබ සුරාන්තයට ආසන්න නම් නවතින්න. මදක් විවේක ගෙන නැවත අරඹන්න.
  • දරුවකු බිහිකිරීමට සැලසුම් නොකරන්නේ නම් කොන්ඩමයක් පළදින්න. මෙවිට ඔබගේ සංවේදනය මදක් අඩුවී වැඩිකලක් රති කෙළියෙහි යෙදිය හැක. 
  • හැකි තරම් ලිහිසිකාරක යොදා ගන්න.(FPA මගින් දැනට Easy Glide යන වෙළෙද නාමයෙන් ඇත)
  • Benzocaine අඩංගු නිපැයුම් යොදාගන්න. භාවිතයට පෙර ඔබ Benzocaine වලට ආසාත්මික දැයි සොයා බලන්න.
පුරුෂ පක්ෂයෙහි පැතිකඩ එසේ වුවද කාන්තා පාර්ශවයේ පැතිකඩ මෙයට හාත්පසින් ම වෙනස් වේ. ලංකාවේ බොහෝ කාන්තාවෝ සංස්කෘතිය මගින් පනවන  ලද නීතින් හා රීතින් හා මිත්‍යා මත මගින් කාන්තාවන් ඔවුනගේ කායික අවශ්‍යතාවයන් සන්තර්පනය කරගැනීම නොකර සිටිත්. කාන්තාවන් ස්වයං වින්දනයේ යෙදීම වරදක් නොවූවද , තම කන්‍යාභාවයට හානියක් සිදුවේ යැයි කියන බය නිසාම ඔවුන් තම සිතුවිලි උපන් ගෙයි ම මරා දමයි. මෙම තත්වයද සමාජය විසින් කාන්තාවන් වෙත අනවශ්‍ය පීඩනයක් එල්ල කර ඇත. තම කාම අවශ්‍යතා තමා විසින්ම සපයා ගැනීම නොකෙරෙන කළ කෙසේ හෝ එම පීඩනය පිට කිරීමේ ක්‍රම ලෙස විකෘත කාම ක්‍රියාවන් , අඩු වයස් ප්‍රේම සබදතා ආදිය මගින් අඩු වයසින් ගැබ් ගැනීම් ආදී බොහෝ ව්‍යසනකාරී ප්‍රතිපල ලැබීම වළක්වනු අසීරු වේ. වත්මානේ බොහෝ කාන්තාවන් තම සිරුර ගැන නොදන්නේ අපගේ අධ්‍යාපන ක්‍රමවේදයේ ඇති යම් දුර්වල තැනක් නිසාදෝ යැයි මා හට සැක මතු වේ. කෙසේ වෙතත් ස්ත්‍රී ප්‍රජනන පද්ධතියේ රූප සටහන් පහත දක්වමු.
එසේම හරස් පෙනුමක් මේ අයුරින් වේ.


දැන් අපි කන්‍යා පටලය පිළිබද මදක් විමසා බලමු. කන්‍යා පටල වල විවිධාකාර පහත පරිදි වේ. ඉහළ රූපයෙන් එය Hymen යනුවෙන් දක්වා ඇත.
ඉහත දැක්වූ පරිදි ඇතැම් කන්‍යාවන්ට කන්‍යා පටල ඇතිව , සම්පූර්ණයෙන්ම නැතිව හෝ සම්පූර්ණයෙන්ම වැසී ඇත. තවද බොහෝ ක්‍රීඩාවන් හා ක්‍රියාකාරකම් නිසා කන්‍යා පටල බිදී යා හැකිය. නමුත් පිළිගත යුතු සත්‍යයක් ඇත. තමාගේ සහකාරියගේ කන්‍යා භාවය ඔප්පු කිරීම හා සහකරු මගින් එය බිදී යාම පූජනීය මෙන්ම ආත්මීය බැදීමක් ඇති කරයි. එහෙත් කන්‍යාභාවය නැති වුවද දෙදෙනාගේ අන්‍යොන්‍ය විශ්වාසය මත ආදරණීය දිවි පෙවෙතක් ගත කළ හැක. එසේම නවීන විද්‍යාව අනුව කන්‍යාභාවය නැවතත් ඇති කළ හැකි බවද සිහිතබා ගත යුතුය. 

නැවතත් මාතෘකාවට පිවිසෙමු. ඕනෑම කාන්තාවකට තම කන්‍යාභාවය රැකගෙන සුරාන්තයට පත්වීමට ඕනෑතරම් ක්‍රම සහ විධි පවතී. විශේෂයෙන්ම තම තනපුඩු හා භගමණිය උත්තේජනය කිරීම මගින් සුරාන්තයට පත්විය හැක. එහෙත් යෝනිමාර්ගික සුරාන්තයට පත්වීම (ගැහැනියකට ලැබිය හැකි උපරිම තෘප්තිය ඇති සුරාන්තය) සදහා යෝනි මාර්ගය උත්තේජනය කළ යුතු අතර මෙහිදී කන්‍යාභාවයට හානි වීමක් සිදුවනු හැක. ඇත්තෙන්ම පිරිමින් නම් සුරාන්තය පිළිබදව නිසි දැනුමක් ඇති මුත් කාන්තාවන් මේ පිළීබදව වැටහීමක් නැත්තා සේම තම සහකරු තමන්ව සුරාන්තයට පත් කරාවි යන උපකල්පනය මත පිහිටා ක්‍රියා කරයි. තමා සුරාන්තය හෝ සුරාන්තයට පත්වීම පිළීබදව නොදන්නේ නම් වෙනත් අයකුට තමාට දැනෙන අයුරු පැහැදිලි කර දෙන්නේ කෙසේද ? නමුත් කාන්තාවක් සුරාන්තයට පත්වීම/කිරීම  පිරිමියකු සුරාන්තයට පත්වන්නා සේ ඉක්මනින් පහසුවෙන් කළ හැකි දෙයක් නොවේ . මානසික සතුට , අන්‍යෝන්‍ය විශ්වාසය , තමාගේ නග්න සිරුර ගැන සහකරු/ තමාගේ ඇති පැහැදීම , ආදරය , මනා අවධානය , සෞඛ්‍ය තත්වය යනාදී බොහෝ කරුණු මේ වෙත බලපානු ලබයි. කාන්තාවකගේ සුරාන්තය නිසි ලෙසම මුහුදු රැලි වලට සමාන කළ හැක. මක් නිසාද මදින් මද සෑදී විශාල රැල්ලක් වී ක්ෂණිකව කඩා හැලෙන මුත් එයම ඊළග රැල්ලට ජවය ශක්තිය සපයයි. පිරිමයකුට මෙන් නොව කාන්තාවකට සුරාන්ත බොහෝ ගණනක් එක් ලිංගික ක්‍රියාවකදී අත් විදිය හැකිය. කෙසේ වෙතත් කාන්තාවකට සංසර්ගයට පෙර උත්තේජනයන් අවම වශයෙන් විනාඩි 30 ක් වත් ලබා දිය යුතු වන අතර සංසර්ගයට පෙර සුරාන්තයට පත් කිරීම මගින් දෙදෙනාටම උපරිම වින්දනය ලබා ගත හැක. නමුත් මතක තබා යුතු කරුණක් නම් කාන්තාවන් සෑම විටම සුරාන්තයට පත් නොවන බවත් සෑම ලිංගික එකතු වීමකදීම සුරාන්තය ළගා නොවීම විය හැකි බවත් ය. 


ඉහත මා දැක්වූයේ පොදු ජනයා දැනුවත් කිරීමේ අරමුණින් යුතුව දැක්වූ කරුණු රාශියක් පමණි. මෙය කියවන ඔබ දැනටමත් ලිංගික ක්‍රියාවෙහි යාන්ත්‍රණය දැන සිටියා විය හැකිය. මෙය උපකාරක කරුණු බිදක් පමණි . මතක තබා ගන්න ඔබගේ සහකරු හෝ සහකාරීය අසැබි වීඩියෝවක නළුවන් හෝ නිළියන් නොවේ. අසැබි වීඩියෝවක නළුවන් හෝ නිළියන් කරණුයේ රගපෑමක් පමණි .ඔබගේ සහකරු හෝ සහකාරීයට ආදරයෙන් සලකන්න. 

ඔබට සුභ දවසක් ! යහ දිවියක් , දිගායු ලැබේවා !